ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගයට එන විශේෂ අමුත්තන්

56

වසර 11කට පසුව පාකිස්තානයට ටෙස්ට් ක්‍රිකට් රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායම එක්ව සිටී. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

දක්ෂතා තියෙනවා, භාවිතා කරන්නේ නැති එක තමයි ගැටලුව – නව පුහුණුකරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ……

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ක්‍රිකට් මිතුදම 1982 දක්වා විහිදී යන අතර ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට නැවතත් ටෙස්ට් ක්‍රිකට් රැගෙන ඒමට කරන ගෞරවයක් ලෙසින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක බන්දුල වර්ණපුරට හා පාකිස්තාන හිටපු ටෙස්ට් නායක ජාවේඩ් මියන්ඩාඩ් හට ගෞරවනීය අමුත්තන් ලෙස ආරාධනා කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර 1982 වසරේ මාර්තු මාසයේ දී පැවති පළමු ටෙස්ට් තරගයේ නායකයන් වූයේ බන්දුල වර්ණපුර හා ජාවේඩ් මියන්ඩාඩ්ය. එම තරගය කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්විය. එම තරගයේ ජයග්‍රහණය හිමි වූයේ පාකිස්තානයටයි. 

පාකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් අතර ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 396ක් ද, දෙවන ඉනිමේ දී ලකුණු 301ක් ද වාර්තා කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 344ක් රැස් කළ අතර දෙවන ඉනිමේ දී ලකුණු 149කට සියල්ලන් දැවී ගියේය. 

විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වන බන්දුල වර්ණපුර හා ජාවේඩ් මියන්ඩාඩ් දෙසැම්බර් මස 10 වැනිදා තරගාවලියේ කුසලානය සමඟින් ඡායාරූප කීපයකට එක්වීමට නියමිත අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දිවා විවේකය අතරතුර ඔවුන්ට විශේෂ සම්මාන කිපයක් ද ප්‍රදානය කිරීමට නියමිතය. 

මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් සභාපති එහ්සාන් මානි අදහස් දක්වා සිටියා. 

“මම මේ සුවිශේෂී ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට ස්තූතිවන්ත වෙනවා ඔවුන්ගේ කාර්‍යබහුල කාලසටහනත් සමඟින් අපේ මේ ආරාධනාව පිළිගැනීම සම්බන්ධයෙන්. මේක ඓතිහාසික අවස්ථාවක්. මේක පාකිස්තානයට, පාකිස්තානය ක්‍රීඩාලෝලීන්ට වගේම සියලුම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලොකු වටිනාකමක්.

දෙසැම්බර් 11 පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයට ගොඩක් විශේෂ දවසක්. මම හිතනවා ඒ අවස්ථාව බන්දුල වර්ණපුර හා ජාවේඩ් මියන්ඩාඩ් එක්ක සමරන එක සුදුසුයි කියලා. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ සුවිශේෂී ක්‍රීඩකයන්. ඔවුන්ගේ ක්‍රීඩාව හා ක්‍රීඩාව වෙනුවෙන් කල සේවය අසමසමයි. 

පාකිස්තාන ක්‍රිකට් ආයතනය හැටියට අපි සියලුම ක්‍රීඩකයන්ට ගෞරව කරනවා. මේ විශේෂ ඇගයීම අපේ ගෞරවය හා ඔවුන්ට කරන ඇගයීමක් වේවි. පාකිස්තාන ක්‍රිකට් ආයතනය විදිහට අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි ඇගයිම් දිගටම කරන්න. අපි පාකිස්තානයේ පවත්වන ටෙස්ට් තරගාවලිවල දී මෙවැනි ඇගයීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<