ප්‍රගතිශීලී දියුණුවක් සමඟ අවසන් වුන ශ්‍රි ලංකා SAFF ගමන

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය 2021

382

ක්‍රීඩාවේ ජීව ගුණය රඳා පවතින්නේ ක්‍රීඩකයන්ගේ විනය මත පමණක් නොව, තරගයක් අපක්ෂපාතීව විනිශ්චය වන්නේ නම් පමණි.  යම් තරගයක දුර්වල විනිසුරු තීරණයක් වී නම් එහි විපාක ලබන්නෝ ක්‍රීඩකයෝ ය. 13 වැනි දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මුහුණ දුන් ඉරණමට මේ අනිසි විපාක ද එක්වුනා.

2021 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය මෙවර මාලදිවයිනේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන්නේ රටවල් 5ක සහභාගීත්වයෙන්. සහභාගී වූ රටවල් අතරින් ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉහළින් ම ලැයිස්තු ගත ව සිටියේ ඉන්දියාවයි. ඔවුන් 107 වැනි ස්ථානයේ රැඳී සිටියා.

ඉන් පසුව පසුගිය වසරේ ශූරයන් වූ මාලදිවයින 158 වැනි ස්ථානයේ ද, නේපාලය 168 වැනි ස්ථානයේ ද සහ බංග්ලාදේශය 189 වැනි ස්ථානයේ ද රැඳී සිටියා. 205 වැනි ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව මේ තරගාවලියට සහභාගී වෙන්නේ එම ලැයිස්තුවේ අන්තිමයා ලෙසින්.

දකුණු ආසියානු පාපන්දු සංයුතිය රටවල් 8කින් සමන්විත වන අතර මේ තරගාවලිය සඳහා 153 වැනි ස්ථානයේ රැඳී සිටින ඇෆ්ගනිස්තානය, 187 වැනි ස්ථානයේ රැඳී සිටින භූතානය සහ 198 වැනි ස්ථානයේ රැඳී සිටින පාකිස්තානය ද මෙවර තරගාවලියට සහභාගි වූයේ නැහැ.

දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ මෙතෙක් ගමන

YEAR HOST CHAMPIONS RUNNERS-UP
1993 පාකිස්තානය ඉන්දියාව ශ්‍රී ලංකාව
1995 ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව ඉන්දියාව
1997 නේපාලය ඉන්දියාව මාලදිවයින
1999 ඉන්දියාව ඉන්දියාව බංග්ලාදේශය
2003 බංග්ලාදේශය බංග්ලාදේශය මාලදිවයින
2005 පාකිස්තානය ඉන්දියාව බංග්ලාදේශය
2008 මාලදිවයින සහ ශ්‍රී ලංකාව මාලදිවයින ඉන්දියාව
2009 බංග්ලාදේශය ඉන්දියාව මාලදිවයින
2011 ඉන්දියාව ඉන්දියාව ඇෆ්ගනිස්තානය
2013 නේපාලය ඇෆ්ගනිස්තානය ඉන්දියාව
2015 ඉන්දියාව ඉන්දියාව ඇෆ්ගනිස්තානය
2018 බංග්ලාදේශය මාලදිවයින ඉන්දියාව
2021 මාලදිවයින    

දකුණු ආසියානු පාපන්දු ඉතිහාසයේ ලත් එක ම ජයග්‍රහණයේ රිදි ජුබිලි වසර සැමරූ උණුසුම වියැකෙන්නට මත්තෙන් පැවති මේ තරගාවලිය එකී උණුසුමෙන් ම අවසන් වනු දැකීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මෙන් ම පාපන්දු ලෝලීන්ගේ ද බලාපොරොත්තුව වුනා.

ඒ බලාපොරොත්තුව තවත් තීව්‍ර වන්නේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩයම දකුණු ආසියානු තරගාවලියට සහභාගී වීමට මත්තෙන් සෞදි රාජ්‍යයේ දී පුහුණු සැසියකට සහභාගී වෙමින් එරට ක්‍රීඩා සමාජයක් සමඟ පැවති තරගයක දී ගෝල 6-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමත් නිසා.

එහෙත් එය බලාපොරොත්තුවක් පමණක් ම බවට පත් වෙන්නේ තරගාවලියේ අවසන් කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායම ලැයිස්තු ගත වීමත් සමඟ. එකී පරාජයේ දී අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් අභිබවා ප්‍රතිවාදි ක්‍රීඩකයන්ගේ දක්ෂතා තරගගත වීම ප්‍රමුඛ හේතුව වූවත් අප ක්‍රීඩකයන්ට ලැබුණ දුර්වල විනිශ්චයන් ද ඊට හේතු වූ බැව් අපගේ විශ්වාසයයි.

බංග්ලාදේශය සමඟ තරගය

තරගාවලිය ආරම්භ කරමින් පැවති මෙම තරගයේ දී දෙපිලේ ම ක්‍රීඩකයෝ තියුණු තරගයකට අවතීර්ණ ව සිටීම කැපී පෙනුණා. පළමු අර්ධය අවසන් වෙද්දීත් කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කිරීමට හැකි වුනේ නැහැ.

නමුත් දෙවැනි අර්ධයේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් වූ මද අතපසු වීමක් හේතුවෙන් දඬුවම් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කර ගනිමින් තරගය ගෝල 1-0ක් ලෙස ජය ගැනීමට ප්‍රතිවාදි බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වෙනවා.

නේපාලය සමඟ තරගය

තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෑ ඉහළ ම දක්ෂතාව මේ තරගයේ දී දැක්වීම කැපී පෙනුණා. තරගයේ පළමු අර්ධයේ දී ප්‍රතිවාදීන් ඉදිරියේ පසු බෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේ දී වඩාත් ආක්‍රමණකාරී වෙමින් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වුනා.

තරගයේ 58 වැනි මිනිත්තුවේ දී මර්වින් හැමිල්ටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර අනතුරුව දඬුවම් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කිරිමට ඩිලන් ද සිල්වා සමත් වුනා.

එය තරගයේ වාර්තා අවසන් ගෝලය වූ අතර තරගය නිමා වූයේ ගෝල 3-2ක පරාජයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිමි කර දෙමින්.

ඉන්දියාව සමඟ තරගය

මේ තරගය සඳහා සහභාගී වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෙර තරග දෙක ම පරාජය වී සිටි බැවින් මේ තරගය අතිශය තීරණාත්මක වී තිබුණා. ප්‍රබල ඉන්දියානුවන් ඉදිරියේ යම් හෝ දුර්වලතාවක් වී නම් එය ඔවුන් විසින් ම සියතින් ගෙල සිඳ ගන්නවා හා සමාන වුනා. මේ හේතුවෙන් දෝ අපේ ක්‍රීඩකයෝ මේ තරගය පුරාවට ම ආක්‍රමණකාරී සහ උපක්‍රමශීලිව ක්‍රීඩා කරන විලාශයක් පෙන්නුම් කළා.

ඉන්දියාව සමඟ හරි හරියට තරග වැදුණ ඔවුන් තරගය නිමා කළේ 0-0ක් ලෙසින් ජය පරාජයෙන් යුතුව අවසන් කරමින්. තරගාවලියේ දී ලත් එක ම ප්‍රසාද ලකුණ ඔවුන්ට හිමි වෙන්නේ එම තරගයෙන්.

මාලදිවයින සමඟ තරගය

දකුණු ආසියානු තරගාවලියේ දෙවැනි වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව වී තිබුණේ සත්කාරකයන් සමඟ වූ මෙම තරගයයි. ඒ වෙද්දී ඉන්දියාව සමඟ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින් ප්‍රසාද ලකුණක් පමණක් ලබා සිටි ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය ඉතා වැදගත් වුනා.

නමුත් ගියවර ශූරයන් මෙන් ම මෙවර තරගාවලියේ සත්කාරකයන් ද වූ මාලදිවයින් කණ්ඩායම ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හිස එසවීමට ඉඩ දුන්නේ නැහැ. තරගයේ වාර්තා වූ එක ම ගෝලය තරගය ආරම්භ කර 7 වැනි මිනිත්තුවේ දී එල්ල කිරීමට ඔවුන් සමත් වූවා.

එතැන් සිට ගිලිහෙමින් ගිය තරගයේ සැනසීමකට යමක් වූවා නම් ඒ අපේ ක්‍රීඩකයන්ගේ තරගකාරී ක්‍රීඩා විලාශය පමණයි. ඒ අතර වාරයේ චලන චමීර විසින් එල්ල කළ ගෝලයක් විනිසුරු නිගමනයක් මගින් ප්‍රතික්ශේප කිරීමත් අවස්ථා කිහිපයක දී ම අපේ ක්‍රීඩකයන්ට දෙනු ලැබූ තීරණ මතබේදාත්මක බවක් ඉසිලුවා. ඒ තත්ත්වය මත තරගය නිමා වූයේ ගෝල 1-0ක පරාජයකට අපේ ක්‍රීඩකයෝ මුහුණ දෙමින්.

එය අපේ ක්‍රීඩකයන්ගේ ඉදිරි ගමන වැළැක්වූවා පමණක් නොව බලාපොරොත්තු සහගතව ගිය ගමනක නිමාව ද වූවා.

කෙසේ වෙතත් තරගාවලිය පුරා අපේ ක්‍රීඩකයෝ දැක්වූ දක්ෂතාවන් කැපී පෙනුණා. විශේෂයෙන් ම 2015 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ Mohamed Rifnas දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියක ගෝලයක් වාර්තා කිරීමෙන් පසුව ගෝලයක් වාර්තා වන්නේ මේ වසරේ දී. එහි ගෞරවය මර්වින් හැමිල්ටන් සතු කර ගත්තා. අනතුරුව ඩිලන් ද සිල්වා ද මේ ගොඩට එක් වුනා.

එමෙන් ම නායකයෙක් ලෙසින් සුජාන් පෙරේරාගේ විශිෂ්ට ගෝල රැකීමක් තරගාවලිය පුරා දැකගන්න ලැබීම ද විශේෂයි. තරගාවලිය පුරා ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයෝ තම යුතුකම් ඉටු කිරීම කැපි පෙනුණ අතර ඒ ගැන සහතිකයක් ලබා දුන්නේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු 61 වියැති බොස්නියානු ජාතික Amir Alagic මහතා.

අවංකව ම අපි මේ තරගාවලිය හොඳින් නිමා කළා. විශේෂයෙන් ම මම දැක්ක හොඳම තරගය මාලදිවයින සමඟ තරගයයි. අඩු-පාඩු සිදු වෙන්න ඇති. නමුත් කණ්ඩායමේ විශාල ප්‍රගතියක් තියෙනවා. හැම ක්‍රීඩකයෙක් ම ඉතාම හොඳින් ක්‍රීඩා කළා. තාක්ෂණය වගේ ම උපක්‍රමයන් අනුගමනය කළා. ඒත් අපිට පුහුණු වෙන්න ලැබුණෙ දවස් 18යි.  මම උත්සාහ කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යුරෝපීය පාපන්දු රටාවට හුරු කරන්න. නමුත් කාලය අඩු වීම නිසා යම් යම් සැලසුම් නිසි ලෙසින් ක්‍රියාත්මක කරන්න බැරි වුනා. ඒ වුනත් ඔවුන් විශිෂ්ට ලෙසින් තරගාවලියේ ජීවත් වුනා”, Amir Alagic මහතා මාධ්‍ය වෙත මෙලෙස ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගයෙන් අනතුරුව.

එම සාකච්ඡාවේ දී ඔහු ශ්‍රී ලංකාවේ පාපන්දු අනාගතය ගැන ද පවසා තිබුණා.

අපිට හොඳ යොවුන් ක්‍රීඩකයෝ ඉන්නවා. ඔවුන් යුරෝපීය පාපන්දු රටාවට හුරු කරන්න ඕන. ඒ තරග රටාව ශ්‍රී ලංකාවට ගැළපෙනවා. අපිට දැන් අවශ්‍ය මේ තරග රටාවේ වෙනසක් කරන්න. ඒකට සුදුසු කාලය පැමිණ තිබෙනවා.”

එවන් බලාපොරොත්තු සහගත ශ්‍රී ලංකා පාපන්දු අනාගතයක් උදා වීම ThePapare.com හී ද බලාපොරොත්තුව වන අතර ඊට “කර” තබන සෑම කෙනෙක් සමඟ අප ද සිටිමු.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ගැන මොකද හිතන්නේ? පහළින් Comment කරන්න.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<