ජාතික surfing තරගාවලියකට සියල්ල සූදානම්

117

මෙරට ප්‍රමුඛ සංචාරක ප්‍රවර්ධන සමාගමක් වන Lanka Sportreizen සමාගම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව මෙරට දී ජාතික surfing ඉසව්වක් පැවැත්වීම සඳහා සැලසුම් සකස් කර තිබේ. 

මෙම තරගාවලිය සැප්තැම්බර් මස අගභාගයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතී. ක්‍රීඩා හා ත්‍රාසජනක ක්‍රියාකාරකම් තුළින් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සමාගම් අතර Lanka Sportreizen සමාගම පෙරමුණ ගෙන සිටින සමාගමකි.

ලොව පුරා වසංගතයක් ලෙස පැතිර ගිය නව කොරෝනා හෙවත් COVID-19 වයිරසයේ බලපෑම මෙරටට ද එල්ල විය. ඒ අනුව පසුගිය මාස 5 තුළ දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලිවලට විශාල වශයෙන් බලපා ඇති අතර බොහෝ ජාතික ක්‍රීඩා ආයතනවල කාලසටහන් වලට බාධා ඇති විය.

මෙම කොරෝනා වයිරසය පැතිරීමට පෙර ලෝක සර්ෆ් ලීගයේ (World Surf League) සහය ඇතිව නැගෙනහිර වෙරළ තීරයේ surfing ශූරතාවලියක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත්, වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස එම සැලසුම් අත්හැර දැමීමට ඔවුන්ට සිදු විය.

වත්මන් රජයේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම surfing ක්‍රීඩාව පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන පුද්ගලයෙකු වන අතර පසුගිය දා පැවති surfing ඉසව්වක දී ඔහු ද සිය දක්ෂතා උරගා බැලීමට එක්ව සිටියේය.

ඒ අනුව Lanka Sportreizen සමාගම විසින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ආශීර්වාදය ඇතිව විවෘත/ ජාතික කාණ්ඩ යටතේ surfing තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටී.

සැප්තැම්බර් 27 වැනි දින පැවැත්වෙන ලෝක සංචාරක දිනයට සමගාමීව මෙම තරගාවලිය පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත. තරගාවලිය සංවිධානය කිරීම සඳහා ශ්‍රී ලංකා surfing සම්මේලනය ද සම්බන්ධ වනු ඇත.

තවත් ක්‍රීඩා පුවත්

වත්මන් සැලසුම්වලට අනුව මෙම ශූරතාවලිය සැප්තැම්බර් 26 සහ 27 යන දෙදින ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙහි ආරුගම්බේ වෙරළ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

පසුගිය මාස කිහිපය තුළ මෙරට ක්‍රීඩාලෝලීන්ට කිසිදු ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ තරගාවලියක් දැකබලාගැනීමේ අවස්ථාව උදානොවීය. දීර්ඝ විරාමයකින් අනතුරුව පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ක්‍රීඩාලෝලීන් දැඩි උනන්දුවකින් සහභාගී වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

2020 වසරේ ජනවාරි මාසයේ සිට කිසිදු ඉසව්වක් සංවිධානය නොවූ නැගෙනහිර වෙරළ තීරයට මෙය සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

කොරෝනා වයිරසයත් සමඟින් දැඩි බලපෑම් එල්ල වූ ආරුගම්බේ ප්‍රදේශය අවට ඇති ව්‍යාපාරවලට අවශ්‍ය සහන මෙම තරගාවලිය මඟින් ලැබෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ අදහස වී ඇත. 

මෙම තරගාවලිය දේශීය ක්‍රීඩකයන්ට මෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව තුල සිටින විදේශිකයින්ට විවෘත වේ. මෙම තරගාවලිය නැරඹීමට විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කරන අතර විශාල ප්‍රේක්ෂක පිරිසකට සිය හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයන්ට මෙය මහඟු අවස්ථාවක් වනු නොඅනුමානය.

මෙම තරගාවලිය සඳහා මොබිටෙල් ආයතනය හා ලීන් ඒෂියා හෝල්ඩින්ග්ස් ආයතනය අනුග්‍රහය දක්වයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<