ජල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය ඉන්දියාවට, ශ්‍රී ලංකාවට අනුශූරතාවය

516

දකුණු ආසියානු ජල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 18න් ඉහළ පිරිමි දක්ශතම ක්‍රීඩකයා වූ මැතිව් අබේසිංහවයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලක සහය පිහිනුම් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම (කවීන්ද්‍ර නුගවෙල, දිලංක ශිහාන්, කවීන් වීරසිංහ හා කයිල් අබේසිංහ)වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා සහය පිහිනුම් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම (කිමිකෝ රහීම්, විනෝලි කලුආරච්චි, නවීශා කරුණානායක, ශිහාම්ති ගුණවර්ධන)දකුණු ආසියානු ජල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 18න් පහළ බාලිකා දක්ශතම ක්‍රීඩිකාව වූ කිමිකෝ රහීම්

පසුගිය 18 වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිහිණුම් තටාකයේදී ආරම්භ වූ ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලිය අද සවස නිමාවට පත්විය. ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩී. එම්. ආර්. ඩී. ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ සමාප්ති උත්සවය පැවැත්විණි.

පසුගිය ලිපි:  තෙවැනි දිනයේදී ප්‍රබල ඉන්දියානට ශ්‍රී ලංකාව හමුවේ පරාජයට

දින 4ක් පුරාවට කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ පැවති මෙම තරගාවලියේ සමාප්තිය සටහන් කරමින් කලාපයේ පිහිණුම් ඉසව්වේ බලවතා තමා බව පෙන්වාලන්නට ඉන්දියානුවන් සමත්විය. ඒ ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියේ ශූරතාවය හිමිකර ගනිමිනි. එහි අනුශූරතාවය සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකර ගනිද්දී තෙවන ස්ථානය බංගලාදේශය විසින් දිනා ගන්නා ලදී.

දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ පුවත් ගොනුව

ප්‍රබල ඉන්දියානු කණ්ඩායම් තරගාවලියේ රන් පදක්කම් ගොන්න ක්‍රම ක්‍රමයෙන් දින හතර තුලදී වැඩි කරගන්නට සමත් වූ අතර ඔවුන්ගේ වෝටර් පෝලෝ කණ්ඩායම්, කිමිදුම් කණ්ඩායම් හා වයස අවුරුදු 15න් පහළ හා 18න් පහළ කණ්ඩායම් ඒ සදහා වැඩි සහයෝගයක් තම කණ්ඩායමට ලබා දීම කැපී පෙනුනි. රන් පදක්කම් 121ක්, රිදී පදක්කම් 77ක්, ලෝකඩ පදක්කම් 18ක් සමගින් මුළු පදක්කම් 216ක් ලබා ගනිමින් තරගාවලියේ ශූරතාවය ඉන්දියානුවන් තමන් සතු කරගනිද්දී සත්කාරක ශ්‍රී ලංකාව රන් පදක්කම් 28ක්, රිදී පදක්කම් 66ක්, ලෝකඩ 95ක් වශයෙන් මුළු පදක්කම් 189ක් දිනා අනුශූරතාවය දිනා ගත්තේය.

2016 දකුණු ආසියානු ජල ක්‍රීඩා ශූරතාවලියේ සිවුවැනි දිනයේ ඡායාරූප

අද පැවති තරග වලින් තරගාවලියේ අවසාන අදියරේදී පැවති වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලක හා බාලිකා රිලේ තරග ප්‍රධානත්වයක් ගනු ලැබීය. ශ්‍රී ලංකා පිළ එම ඉසව් ද්විත්වයෙන්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත්වූයේ කයිල් අබේසිංහයන්ගේ සහ කිමිකෝ රහීම්ගේ දක්ශතාවන් නැවතත් පෙන්වාලමිනි.

වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලක තරගයෙන් ශ්‍රී ලංකා පිළ ජයගත්තේ මිනිත්තු 07 තත්පර 53.46ක කාලයක් වාර්තා කරමිනි. නිදහස් ආර ඉසව්වෙන් පැවති මෙම තරගයට කවීන්ද්‍ර නුගවෙල, දිලංක ශිහාන්, කවීන් වීරසිංහ හා කයිල් අබේසිංහයන් ක්‍රීඩා කරනු ලැබීය. තරගයේ ප්‍රථම වටයේදී කවීන්ද්‍ර නුගවෙල හා ඉන්දියානු ක්‍රීඩක නීල් රෝයි අතරේ  පෙරමුණ ගැනීම සදහා යම් තරගයක් පැවතියද, කයිල් අබේසිංහයන් විසින් අවසානයේදී ප්‍රබල ඉන්දියානු රිලේ කණ්ඩායමේ බලපොරොත්තු සුන් කරමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට රැගෙන එන්නට සමත් විය. එම ඉසව්වේ රිදී පදක්කම මිනිත්තු 08 තත්පර 23.81ක කාලයක් වාර්තා කල ඉන්දියානු ක්‍රීඩකයින් දිනා ගනු ලැබීය. නීල් රෝයි, රාහුල් මොහාන්, සහු ශිවකාශ්, හිමන්ශු බට් රිදී පදක්කම දිනා ගත් ඉන්දියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් වේ.

ඉන් අනතුරුව පැවතියේ වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර 800 රිලේ තරගයයි. බාලක තරගයේ පරාජයත් සමග ඉන්දියානු කණ්ඩායමේ අභිප්‍රාය වූයේ බාලිකා ඉසව්වෙන් රන් පදක්කම ලබා ගනිමින් සිදු වූ අවනම්බුව මගහරවා ගැනීමටයි. එහෙත් එම බලාපොරොත්තුව බිද දැමීමට කිමිකෝ රහීම් ප්‍රමුඛ ශ්‍රී ලංකා පිල සමත් විය. තරගයේ ප්‍රථම අදියරේදී කරට කර තරගයක් ඉන්දියානු ක්‍රීඩිකාවන් විසින් ලබා දෙන අන්දමක් පෙනී ගියද අවසාන වටය වන විට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ශතා හමුවේ අසරණ ස්වභායකින් යුතුව තරග කරන අන්දමක් ඉන්දියානු ක්‍රීඩිකාවන්ගෙන් පෙනී යන ලදී. අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගනු ලැබුවේ මිනිත්තු 08 තත්පර 58.63ක කාලයක් වාර්තා කරමිනි. කිමිකෝ රහීම්, විනෝලි කලුආරච්චි, නවීශා කරුණානායක, ශිහාම්ති ගුණවර්ධන ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකාවන් වේ.

මේ අතර වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා රිලේ තරගය ජයගැනීමෙන් අනතුරුව ThePapare.com සමඟින් කිමිකෝ රහීම් පවසා සිටියේ  “මේ තරගවලිය ඉතා සාර්ථක තරගාවලියක්, අසල්වැසි රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වගේම අපිටත් අත්දැකීම් විශාල ප්‍රමාණයක් මේ තුළින් ලබා ගන්නට හැකි වුණා. රියෝ ඔලිම්පික් උළ‍ෙලේදී මට ලොකු දෙයක් කරන්න ලැබුනේ නැතත් ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ අදහස් බෙදා ගන්නට ලැබීම ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එන්න මට විශාල පහසුවක් වුනා. 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේදී මං බලාපොරොත්තු වෙන්වා රට වෙනුවෙන් හොද දෙයක් කරන්න”.

තරගාවලිය අවසානයේ සමාප්ති උත්සවයේ ජය සංකේත ප්‍රදානය ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් ඩී. එම්. ආර්. ඩී. දිසානායක මහතාගේ හා  ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයේ සභාපති කොමදෝරු ජයන්ත ගමගේ  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එහිදී  තරගාවලියේ

  • වයස අවුරුදු 15න් පහළ දක්ශතම ක්‍රීඩිකාව – ඉන්දියාවේ කෙනීශා ගුප්තා (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 15න් පහළ දක්ශතම ක්‍රීඩකයා – ඉන්දියාවේ සන්ජෙයි ජයක්‍රිශනන්. (රන් පදක්කම් 05)
  • වයස අවුරුදු 18න් පහළ දක්ශතම ක්‍රීඩිකාව – ශ්‍රී ලංකාවේ කිමිකෝ රහීම් (රන් පදක්කම් 05)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩකයා – කයිල් අබේසිංහ (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩිකාව – ඉන්දියාවේ ජයෝට්සනා රාජේන්ද්‍ර (රන් පදක්කම් 04)
  • වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩකයා – ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ (රන් පදක්කම් 05)

“මගේ කණ්ඩායම හොඳ දක්ෂ කණ්ඩායමක්. මම විසින් මේ දැක්වූ  දක්ශතා වලට මගේ කණ්ඩායම මට ගොඩක් සහය වුණා. ප්‍රථම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 05ක් ලබා ගන්න ලැබුනු එකට මන් සතුටු වෙනවා.” යැයි තරගාවලියේ වයස අවුරුදු 18න් ඉහළ දකශත්ම ක්‍රීඩකයා වූ ශ්‍රී ලංකා ජල ක්‍රීඩා කණ්ඩායමේ නායක මැතිව් අබේසිංහ ThePapare.com වෙත ප්‍රකාශ කළේය.

මේ වයස අවුරුදු 18න් ඉහළ දක්ශතම ක්‍රීඩිකාව වූ ජෙයොස්ට්නා රාජේන්ද්‍රන් “ශ්‍රී ලංකාව කියන්නේ මට ආගන්තුක රටක් නෙවෙයි. මං මීට කලින් සාග් තරගවලට ශ්‍රී ලංකාවට ඇවිත් තියනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට වගේම අසල්වැසි අපිටත් මේ තරගාවලිය ගොඩක් ප්‍රයෝජනවත් වුණා. විශේෂයෙන් කිමිකෝ සහ මැතිව් ගැන කියන්න ඕනෑ කරනවා. ශ්‍රී ලංකාවට අනාගත ඔලිම්පික් බලාපොරොතුවක් තියාගන්න පුලුවන් තරමේ දක්ශතාවක් ඔවුන් සතුව තිබෙනවා. මම ඔවුන්ට සුභ පතනවා. 2020 ටෝකියෝ ඔලිම්පික් රන් පදක්කම් ලබා ගැනීම තමයි මගේ එකම බලාපොරොත්තුව” යැයි ThePapare.com වෙත ප්‍රකාශ කරනු ලැබීය.

ශූරතා ලකුණු සටහනට අනුව තරගාවලියේ

  • ශූරතාවය – ඉන්දියාව (රන් පදක්කම් 121, රිදී 77, ලෝකඩ 18  – මුළු පදක්කම් 216)
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව (රන් පදක්කම් 28, රිදී පදක්කම් 66, ලෝකඩ 95 – මුළු පදක්කම් 189)
  • තෙවන ස්ථානය – බංගලාදේශය (රන් පදක්කම් 02, රිදී පදක්කම් 02, ලෝකඩ  පදක්කම් 05-මුළු පදක්කම් 09)
  • සිව්වන ස්ථානය – පාකිස්ථානය (රන් පදක්කම් 01, රිදී පදක්කම් 03, ලෝකඩ 02 – මුළු පදක්කම් 06) හිමි කර ගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට