දකුණු අප්‍රිකාවට විවේචන රැසක්

13260

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වේ. ප්‍රබල කණ්ඩායම් රැසක් නොසිතූ පරාජයන්ට ලක්වන ආකාරයක් මුල් තරග කිහිපයේ දී ම දක්නට ලැබුණි.

දකුණු අප්‍රිකාව ලෝක කුසලාන තරගාවලියේ බලාපොරොත්තු තබා ගත හැකි කණ්ඩායමක් ලෙස බොහෝ දෙනා විසින් අනාවැකි පල කර තිබූ නමුත් ඔවුන් තරගාවලියේ මුහුණ දුන් මුල් තරග 3ම පරාජය වූයේ එම බලාපොරොත්තු සුනුවිසුනු කර දමමිනි.

AB ලෝක කුසලානයෙන් ප්‍රතික්ෂේප වේ

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් සිටින දකුණු අප්‍රිකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන එබී ඩිවිලියර්ස්…

තුන්වැනි තරගය ඊයේ ඉන්දියාව සමඟින් පැවති අතර එහි ජයග්‍රහණය ද ඉන්දියාව සතු විය. ඒ අනුව දකුණු අප්‍රිකාව තමන් සහභාගි වූ ලෝක කුසලාන තරගාවලි 8 දී ලබා ගත් දුර්වලම ආරම්භය ලෙස මෙය සටහන් වේ.

දකුණු අප්‍රිකාව ලැබූ මෙම පරාජයන් පිළිබඳව The Citizen පුවත්පත සමඟින් සාකච්ඡාවකට එක්වූ හිටපු දකුණු අප්‍රිකානු පන්දු ‍යවන්නෙකු වූ පැට් සිම්කොක්ස් පවසා ඇත්තේ දකුණු අප්‍රිකාව තම දේශීය තරගාවලි පිළිබඳව මීට වඩා අවධානය යොමු කළ යුතු බවයි. ඒ සඳහා ප්‍රධාන තීරණ කිහිපයක්ම ගත යුතු බව ඔහු කියා සිටියා.

“අපි කණ්ඩායම හා ක්‍රීඩකයන් පිළිබඳව හොයලා බැලුවොත් ඔවුන් තමයි අපිට ඉන්න හොඳම අය. මේ ක්‍රමයේ හොඳම නිෂ්පාදන ඔවුන්.”

“මට විශ්වාසයක් නෑ මේ ක්‍රමය හෝ මේ නිෂ්පාදන ගැන. මේක ක්‍රීඩකයන් එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් වෙනස් කරන්න බෑ.”

දකුණු අප්‍රිකාව ලැබූ නොසිතූ පරාජය පිළිබඳව අදහස් දැක්වූ සිම්කොක්ස් පවසා සිටියේ තම කණ්ඩායමේ ප්‍රධානතම පන්දු ‍යවන්නන් වන ඩේල් ස්ටේන් හා ලුන්ගි න්ගිඩි ආබාධවලට ලක්වීම ඔවුන්ට ප්‍රධානතම ගැටලුවක් වූ බවයි. පිතිකරුවන් ද එම තරගයේ දී කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 227ක් පමණක් වීම පිතිකරුවන්ගේ ද අසාර්ථකත්වය පෙන්වන බව සිම්කොක්ස් තවදුරටත් පවසා සිටියා.

“පිතිකරුවන් හොඳින් ලකුණු ලබාගත්තේ නැත්නම් පන්දු ‍යවන්නන් කවුද කියන එකෙන් වැඩි වෙනසක් වෙන්නේ නෑ මේ වගේ flat pitch වල. හොඳ කණ්ඩායම්වලට පරාජය වීමට සිදු වේවි.” ට්වීටර් පණිවිඩයක් හරහා සිම්කොක්ස් පවසා සිටියා.

දකුණු අප්‍රිකානු හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඩේව් කල්ලගන් ද මෙම පරාජයන් සම්බන්ධයෙන් කනස්සල්ල පලකර ඇත.

“සම්පූර්ණ වැරැද්ද ක්‍රීඩකයන්ට එල්ල කරන එක වැරදි.” ෆේස්බුක් සටහනක් තබමින් ඩේව් පවසා ඇත.

“මේක අපේ ක්‍රමයේ වැරැද්දක්. කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් තමා අපිට මේ වෙලාවේ ඉන්න හොඳම අය “ ඩේව් පවසා ඇත.

ක්‍රිස් මොරිස් දකුණු අප්‍රිකානු වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 6කින්…

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙත විවේචන රැසක් එල්ල වෙමින් පවතින අතර හිටපු දඟපන්දු ‍යවන ක්‍රීඩක පෝල් ඇඩම්ස් ද කණ්ඩායම පිළිබඳව අදහස් දක්වා සිටියා.

“මීළඟ තරගය තීරණාත්මකයි. තව තරග 6ක් තියනවා. ඒ 6 ම ජයග්‍රහණය කරන්න අවශ්‍යයි අවසන් පූර්ව වටයට යාමට” ඔහු පවසා ඇත.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රාන්ත තරග ක්‍රීඩා කර මේ වන විට පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ඩේව් නොස්වර්ති පවසා සිටියේ තම ක්‍රීඩකයන්ට දස්කම් අතරට පැමිණීමට මේ හොඳම අවස්ථාව බවයි.

“කණගාටුදායක වෙලාවක් මේක. ඒත් හොඳ ප්‍රවෘත්තිය තමයි එයාලා තාම තරගාවලියෙන් ඉවත් වෙලා නෑ. ගොඩක් අංශ තියනවා දියුණු කරගන්න. සැලසුම් සකස් කරන්න. මේක තමයි වෙලාව කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වෙලා නමක් හදා ගන්න” ට්විටර් පණිවිඩයක් මගින් නොස්වර්ති පවසා සිටියා.  

දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පසුගිය ඉන්දීය තරගයෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබූ මාධ්‍ය සාකච්ඡාවට නොපැමිණීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්විය.

“මේක දකුණු අප්‍රිකානු නායකයාට හොඳ දෙයක් නෙමෙයි. ඔහු තරගයට කලින් මාධ්‍ය වෙත ඇවිල්ලා කිව්වා ඔහු කණ්ඩායම මෙහෙයවන විදිහ හැමෝම බලාගෙන ඉන්නවා කියලා. කණ්ඩායම ඔහු සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා. ඒත් ඔහු තරගයෙන් පස්සේ මාධ්‍යවලට ආවේ නෑ” මාධ්‍යවේදියෙක් වන කෙන් බෝර්ලන්ඩ් ට්වීටර් ගිණුමේ සඳහන් කර තිබුණා.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

2019 ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද (05) එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී සාර්ථකව නිමාවට පත්විය.

එංගලන්තයේ හිටපු සුපිරි පිතිකරුවෙක් වන කෙවින් පීටර්සන් දකුණු අප්‍රිකාවේ උපන්නෙක් වන අතර ඔහු ද තම උපන් රටේ ක්‍රීඩා විලාසය පිළිබඳව අදහස් දක්වා සිටියා.

“මට විශ්වාස නෑ දකුණු අප්‍රිකානු ක්‍රිකට්වලට මොකද වෙලා තියෙන්නේ කියලා” තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු කියා සිටියා.

“ඔවුන්ට දියුණු කරගන්න ගොඩක් දේවල් තියනවා. නැත්නම් එංගලන්තය මේ වසරේ අන්තිමේ කරන සංචාරයේ ටෙස්ට් තරග දින තුනකට සීමා වේවි.”

දකුණු අප්‍රිකානු ක්‍රීඩාලෝලීන් ද මෙම දුර්වල තරග රටාව නිසාවෙන් කණ්ඩායම දැඩි ලෙස විවේචනය කරන අතර ඇතමෙක් ඔවුන්ගේ කණ්ඩායම 2003 රග්බි ලෝක කුසලානයට සහභාගි වූ දකුණු අප්‍රිකානු සංචිතයට සමාන කර ඇත.

එම රග්බි සංචිතය දකුණු අප්‍රිකාව විසින් ලෝක කුසලානයක් සඳහා සහභාගි කරන ලද දුර්වලම කණ්ඩායම ලෙස සැලකේ. දකුණු අප්‍රිකාව මෙම නිමා වූ තරග තුනේ දී දුර්වල පන්දු ‍රැකීමක නිරත වූ අතර එය 15න් පහළ කණ්ඩායමක දැකිය හැකි පන්දු ‍රැකීමක් බව මාධ්‍යවේදී රොබ් හොඋවින් ට්විටර් ගිණුමේ සඳහන් කර තිබූ අතර එයට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදී ඛාන්යිසෝ ට්ස්වාකු පවසා සිටියේ 15න් පහළ කණ්ඩායම්වලට අගෞරව නොකරන ලෙසයි.

ලෝක කුසලානයේ දකුණු අප්‍රිකාව මුහුණ දෙන මීළඟ තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් ජුනි මස 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<