ඉන්දීය යෞවනයෝ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ව තවත් අසරණ කරයි

586

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දෙවැනි සිවු දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ ඊයේ (25) දින නිමාවන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 140ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වන චරිත් සේනානායක මහතා ජූලි මස 25 වන…

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය පිළ ලකුණු 613ක් ලබා ගත්තේ කඩුලු 8ක් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා දෙමිනි. ඔවුන්ගේ ඉනිම අත්හිටුවීමට තීරණය කළේ දකුණත් පිතිකරු පවන් ශා ලකුණු 282ක් ලබා සිටිය දී දැවී යාමෙන් අනතුරුවය.

තරගයේ පළමු දිනය තුළ නොදැවී ලකුණු 177ක් ලබා සිටි පවන් ශා දෙවැනි දිනයේ දී සිය ඉනිමට තවත් ලකුණු 105ක් එකතු කරගනිමින් ද්විත්ව ශතකයක් ද සමඟින් ඔහුගේ ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම වාර්තා කිරීමට සමත් වුනා. පෙර පන්දු වාරයේ දී ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථාවක් මගහැර ඊළඟ පන්දු වාරයේ දී ඉතා හදිසියේ ලකුණක් රැස් කිරීමට දැරූ අසාර්ථක උත්සාහයේ දී ඔහුට කඩුල්ල අහිමි විය. කඩුලු රකින ක්‍රීඩක නිශාන් මධුශ්ක විසින් කඩුල්ල බිඳ හෙළමින් ඔහුගේ ඉනිම අවසන් කරන විට පන්දු 332කට මුහුණ දී සිටි පවන් ශා හතරේ පහර 33ක් සහ හයේ පහරක් තම ඉනිමට එක් කරගෙන තිබුණි.

ප්‍රථම දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි නීල් වේඩර් සහ පවන් ශා දෙවන දිනයද ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා දිවා විවේකය තෙක් ම තම කඩුලු ආරක්ෂා කර ගනිමින් පිති හරඹයේ යෙදෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මහත් මහත් හිසරදයක් බවට පත්ව සිටියේය. දිවා විවේකය සඳහා තරගය නතර කරන විට ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 550ක් ලෙස දිස් විය.

ශ්‍රී ලංකා එක්දින සංචිතයට අලුත් මුහුණක්

ලබන 29 වැනිදා දඹුල්ලේ දී ආරම්භ වන තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලියේ…

ඉන් අනතුරුව යොමු වූ තෙවැනි පන්දු වාරයේ දී 5 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ හෙළීමට වමතින් මද වේග පන්දු යැවූ කලණ පෙරේරා සමත් වූවේය. කලණ ගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ ගැටෙමින් වේඩර් දැවී යද්දී ඔහු ලකුණු 64ක් රැස් කර ගෙන සිටි අතර පන්දු 136ක් වැය කළ ඔහුගේ ඉනිමේ වූ හතරේ පහර සංඛ්‍යාව 3කි. වේඩර් සහ ශා එක්ව එහි 5 වැනි කඩුල්ලට ලකුණු 160ක සබඳතාවක් පවත්වා ගන්නා ලදී.

කඩුලු 6කට ලකුණු 567ක් වූ ඉන්දීය පළමු ඉනිමේ ඊළඟ කඩුල්ල ඔවුන්ගේ ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් පමණක් එක් වෙද්දී දවා ගැනීමට නිපුන් මාලිංග සමත් වුණේය. ඒ අයුෂ් බදෝනි (01) කඩුලු රකින ක්‍රීඩක නිශාන් මධුශ්ක වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි. අද දිනය තුළ දැවී ගිය අනෙක් ඉන්දීය පිතිකරු වූයේ අර්ජුන් තෙන්ඩුල්කාර් ය. කලණ පෙරේරා විසින් පන්දු රකිමින් සිටියදී දමා ගසන ලද පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදෙමින් දුවද්දී දැවී යාමකට හසුව අර්ජුන්ගේ ඉනිම නිමාවන විට ඔහු පන්දු 18ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 14ක් ලබා සිටියේය.

ඉන්දීය ඉනිමේ තෙවැනි සහ සිවු වැනි කඩුලු දුවද්දී දැවීයාම් වලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු දිනයේ දී සමත් වූ අතර දෙවැනි දිනයේ දීද 7වැනි සහ 8වැනි කඩුලු ඒ ආකාරයෙන් ම දවා ගැනීමට සමත් වීම කැපී පෙණුනි. කඩුලු ලබා ගැනීමේ දී කලණ පෙරේරා, නිපුන් මාලිංග, කල්හාර සේනාරත්න සහ විජයකාන්ත් විශ්වකාන්ත් අතර කඩුල්ල බැගින් බෙදී ගියා.

සංචාරක ඉන්දීය කණ්ඩායමේ දැවැන්ත පිති ප්‍රහාරයකින් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් මුල් පෙළේ පිතිකරුවන් හට එතරම්ම දෙයක් කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය මුළු ලකුණු  34ක් වන විට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.

ගුණරත්න නැවතත් කරළියට එද්දී ධනංජයට නායකත්වය

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයේ දී…

ශ්‍රී ලංකා ඉනිමේ සිවු වැනි පන්දු වාරය ක්‍රියාත්මක කළ වමතින් වේග පන්දු යවන මොහිට් ජන්ග්‍රා විසින් පෙර තරගයේ දී ශතකයක්ද ලබාගත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු වන නිශාන් මධුශ්ක (05) එම පන්දු වාරයේ සිවුවැනි පන්දුවේ දී දවාගත් අතර පස් වන පන්දුවේ දී නායක නිපුන් ධනංජයව (00) දවා ගනිමින් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අසරණභාවයට පත් කළේය. ඉන් නොනැවතුණ ජන්ග්‍රා විසින් නුවනිඳු ප්‍රනාන්දුව ද ලකුණු 8කට සීමා කළේය. සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දිස් වූයේ පන්දු වාර 11කට කඩුලු 3ක් දැවී ලකුණු 43ක් ලෙසිනි. මෙහිදී ඉන්දියානු පිළ දවාගත් කඩුලු ත්‍රිත්වයේම හිමිකාරීත්වය ජන්ග්‍රා සතු විණි.

සිවු වැනි කඩුල්ල සඳහා ආරම්භක පිතිකරු කමීල් මිශාර සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව ලකුණු 57ක් එක් කළ අතර වමතින් දඟ පන්දු යවන සිද්ධාර්ත් දේශායි යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී සිවු වැනි කඩුල්ල ලෙසින් මිශාරගේ ඉනිම නිමා වුනා. ඔහු පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා.

දිනය නිමා වන විට ප්‍රථම තරගයේ පළමු ඉනිමේ දී අර්ධ ශතකයක් ලබා ගත් පසිඳු සූරියබණ්ඩාර මෙම තරගයේ පළමු ඉනිමේ දීද ලකුණු අතරට පිවිසෙමින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේය. ඔහුගේ ඉනිමට පන්දු 130ක් වැය වී තිබූ අතර ඊට හතරේ පහර 6ක් ඇතුලත් ව තිබුණි. අනෙක් අන්තයෙන් සොනාල් දිනූෂ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 24ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මොහොට් ජන්ග්‍රා ලකුණු 43කට කඩුලු 3ක් ලබා ගත් අතර සිද්ධාර්ත් දේශායි එක් කඩුල්ලක් ලබා සිටියේය.

තවත් කඩුලු 6ක් අතැතිව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඉන්දීය කණ්ඩායමට වඩා ලකුණු 473ක් පිටුපසින් සිටිමින් අද (26) තරගයේ තෙවැනි දිනය සඳහා පිටියට පිවිසීමට නියමිතය.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: පළමු ඉනිම කඩුලු 8ක් දැවී 613 (128.5)  අත්‍රව් ටයිඩ් 177, පවන් ශා 282, ආර්යන් ජුවාල් 41, නීල් වේඩර් 64, නිපුන් මාලිංග 1/92

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: පළමු ඉනිම කඩුලු 4ක් දැවී 140 (49.0) කමිල් මිශාර 44, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 51, සොනාල් දිනූෂ නොදැවී 24, මොහොට් ජන්ග්‍රා 3/43

මෙම තරගය සේම තරගාවලියේ අනෙකුත් සියලුම තරග ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 1 ඔස්සේ හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත. මේ පිළිබඳ සියලුම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

                           >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<