ඉම්රාන් තාහිර් සිම්බාබ්වේ කණ්ඩායම අනාථ කරයි

256

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉම්රාන් තාහිර්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ සංචාරක සිම්බාබ්වේ ක්‍රීඩකයෝ නැගෙනහිර ලන්ඩනයේ බෆලෝ ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 34ක පරාජයක් ලැබූහ.

ඉම්රාන් තාහීර් තමන්ගේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 126කට සීමා කළේ ලකුණු 161ක ඉලක්කයක් කරා යන වළක්වාලමිනි. ඉම්රාන් මෙම තරගයේ දී ලකුණු 23කට කඩුලු 5ක් දවා ලූ අතර මීට පෙර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන්ව තිබුණේ නවසිලන්තයට එරෙහිව ඕක්ලන්ඩ් හි දී ලකුණු 24කට ලබා ගත් කඩුලු 5ය.

මැතිව් හේඩ්න් අනූනමයෙන් ගැලවෙයි

පසුගිය සති අන්තය සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් හට එතරම් …

දෙරට අතර විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලිය ආරම්භ කරමින් පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 160ක් ලබා ගත්හ.

එම ඉනිමේ පළමු කඩුලු දෙක අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූවද තෙවැනි සහ සිව්වැනි කඩුලුවල දී එක් වූ ලකුණු සබඳතාවන් කණ්ඩායමට මහත් පිටුවහලක් විය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක ෆෆ් ඩු ප්ලෙස්සි සහ රසී වැන්ඩර් ඩුසින් එක්ව ලකුණු 42ක සබඳතාවක් ද සහ රසි වැන්ඩර් ඩුසින් සහ ඩේවිඩ් මිලර් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87ක සබඳතාවක් ද වාර්තා කළහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙම තරගයේ දී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගත් 29 හැවිරිදි රසි වැන්ඩර් ඩුසින් ය. ඔහු තම මංගල තරගයේ දී මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට ද සමත් විය. ඩුසින් පන්දු 44කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේ ය.

නායක ප්ලෙසිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව  34කි. පන්දු 20කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය. ඩේවිඩ් මිලර් පන්දු 34ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 39ක් ලබා ගත්තේ ය.

මෙම තරගයේ දී ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි 26 හැවිරිදි ගිහාන් ක්ලොඑට් ද දකුණු අප්‍රිකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග වරම් දිනා ගත්ත ද ඔහුට තම මංගල තරගයේ දී වැදගත් යමක් කිරීමට හැකි වූයේ නැත. ඔහු ඉනිමේ පළමු පන්දු වාරයේ 5 වැනි පන්දුවේ දී තම ඉනිම අවසන් කර ගත්තේ ලකුණු 2ක් පමණක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනි.

ඉම්රාන් තාහිර් වීරයා වෙමින් තරගාවලිය නිමාවේ

දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ අතර පර්ල් හි බොලන්ඩ් පාක් ක්‍රීඩාංගණයේ දී (06) පැවති …

කඩුලු ලබා ගැනීමේ දී කයිල් ජාවිස් ලකුණු 37කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ක්‍රිස් මොපොෆු කඩුලු 2ක් ද බ්‍රෙන්ඩන් මවුටා කඩුල්ලක් ද දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු පුවරුව 11ක් වෙද්දී ඉවත් කිරීමට ඉම්රාන් තාහිර් සමත් විය. තමන් විසින් යැවූ පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී සිම්බාබ්වේ ඉනිමේ පළමු බිල්ල ගන්නා අතර ඔහු විසින් යවනු ලැබූ ඊළඟ පන්දු වාරයේ පිට පිට පන්දු දෙකක දී අනෙකුත් කඩුලු දෙක ඩැහැ ගන්නේ ය. ඉම්රාන් නැවත වතාවක් තමන් විසින් ඉනිමේ යැවූ 12 වැනි පන්දු වාරයේ දී පිට පිට පන්දු දෙකක දී කඩුලු 2ක් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම සම්පූර්ණයෙන් ම අඩපණ කළේය.

අසරණ වූ එම ඉනිම යම් තරමකින් හෝ ගොඩ ගන්නේ  පීටර් මූර් ය. ඔහු පන්දු 21කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 44ක් ලබා ගන්නේ ය. ඔහුට අමතර ව බ්‍රෙන්ඩන් මවුටා පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර 2 බැගින් එල්ල කරමින් ලකුණු 28ක් ලබා ගත්තේ ය.

සිම්බාබ්වේ ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ බ්‍රෙන්ඩන් මවුටා සහ පීටර් මූර් අතර 8 වැනි කඩුල්ලට එක් වූ ලකුණු 53යි. ඊට අමතරව බ්‍රෙන්ඩන් ටේලර් සහ ෂේන් විලියම්ස් අතර සිව්වැනි කඩුල්ලට එක් වූ ලකුණු 29යි.

ආසියානු අනුශූරයින් සමඟ සටනට බංග්ලාදේශය මෙරටට

බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ …

ෂේන් විලියම්ස් පන්දු 22ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගනිද්දී බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟ ලකුණු 19ක් ලබා ගන්නේ ය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 5 සීමාව පසු කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ඉඩ සැලසුවේ නැත.

ඉම්රාන් තාහීර් තම හොඳම පන්දු යැවීම වාර්තා කරමින් තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිද්දී ජුනියර් ඩලා සහ අන්ඩිල් පෙහෙලුක්වායෝ කඩුලු 2 බැගින් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම පාලනය කළහ.

දකුණු අප්‍රිකාව; කඩුලු 6ක් දැවී 160 (20.0) ෆෆ් ඩු ප්ලෙසිස් 34, රසි වැන්ඩර් ඩුසින් 56, ඩේවිඩ් මිලර් 39, කයිල් ජාවිස් 3/37, ක්‍රිස් මොපොෆු 2/24

සිම්බාබ්වේ; සියලුම දෙනා දැවී 126 (17.2) බ්‍රෙන්ඩන් ටේලර් 19, ෂේන් විලියම්ස්  21, පීටර් මූර් 44, බ්‍රෙන්ඩන් මවුටා 28, ඉම්රාන් තාහිර් 5/23, ජුනියර් ඩලා 2/25, අන්ඩිල් පෙහෙලුක්වායෝ 2/25  

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 12 වැනිදා පොචෙෆ්ස්රූම් හි දී ආරම්භ වීමට නියමිත ය. එම තරගයේ සහ තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<