සියවසේ සටනට පෙර තුවාලය එළි නොකළාට පැකියාඕට නඩු

137

ෆ්ලොයිඩ් මේවෙදර් සමග පසුගිය සතිඅන්තයේ පැවැති ‘සියවසේ සටන’ බොක්සිං තරගයට පෙර මැනී පැකියාඕ සිය උරහිසේ තිබූ තුවාලය වසන් කිරීමේ වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගෙන් ඩොලර් මිලියන පහක මුදලක් ඉල්ලා ලාස් වේගාස් නුවර පදිංචිකරුවන් දෙදෙනෙකු නඩු පවරා තිබේ.

තමා සටන් කළේ තම දකුණු උරහිසේ තුවාලයක් තිබියදී බව පැකියාඕ තරගයෙන් පසුව කියා සිටියේය. මේ කරුණ වසන් කිරීම පිළිබඳව පැකියාඕට සහ ඔහුගේ කළමනාකරු හා අනුග්‍රාහකයාගෙන් මෙම මුදල ඉල්ලා මේ නඩුව පවරා තිබේ.

පැකියාඕගේ තුවාලය පිළිබඳව නෙවාඩා ප්‍රාන්ත මලල ක්‍රීඩා කොමිසමට හෙළි නොකළ පැකියාඕගේ කඳවුර තරගය සෙනසුරාදා තරගය නැරඹීම සඳහා ප්‍රවේශ පත් මිලදී ගැනීමට අවම වශයෙන් ඩොලර් 2,500ක් බැගින් වියදම් කළ හා මේ තරගය රූපවාහිනියෙන් දැක බලා ගැනීම සඳහා ඩොලර් 99.95ක් බැගින් ගෙවූ ක්‍රීඩා ලෝලීන්ගෙන් එය රහසක්ව තබා ගත් බවට නඩුවෙන් කියා සිටී.

“ජනතාව ඕනෑම දේකට නඩු දමාවි” යැයි පවසමින් පැකියාඕගේ කණ්ඩායමේ ප්‍රධාන පුද්ගලයන් තරගයට පසු දිනයේම පෞද්ගලිකව ඔවුන්ගේ බිය පළකර සිටියහ.

පැකියාඕ බරපතළ ලෙස තුවාල ලබා සිටි බව විත්තිකරුවන්ට හොඳ දැනුමක් හා තොරතුරු තිබූ බවත් එම තුවාලයෙන් පැකියාඕගේ ක්‍රීඩාවට ප්‍රබල බලපෑමක් ඇති කෙරෙනු ඇති බව ඔවුන් දැන සිටි බවත් මේ නඩුවෙන් චෝදනා කර තිබේ.

තරගයට පෙර දින එනම් සිකුරාදා පැවැති තරගකරුවන් දෙදෙනාගේ බර කිරීමේ අවස්ථාවේදී ඉදිරිපත් කෙරුණු නෙවාඩා ප්‍රාන්ත මලල ක්‍රීඩා කොමිසමේ වෛද්‍ය පෝරමයක සඳහන්ව තිබූ “තරගකරුවා උරහිසේ තුවාලයකින් පීඩා විඳිනවාද?” යන ප්‍රශ්නය ඉදිරියේ “නැහැ” යනුවෙන් පැකියාඕ හා ඔහුගේ කළමනාකරු මයිකල් කොන්ස් සළකුණු කර අස්සන් කර තිබේ.

වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ‘ටොරඩොල්’ නමැති එන්නත තරගයට පෙර ලබා ගැනීම කොමිසමේ සභාපතිවරයා විසින් පැකියාඕට තහනම් කර තිබේ. එහෙත් එම එන්නත පැකියාඕට ලබා ගත හැකි බවට වන සටහන් එම පෝරමයේ අඩංගු වී තිබේ. පැකියාඕගේ දකුණු උරහිසේ තුවාලය හටගෙන ඇත්තේ අප්‍රේල් 4 වැනිදා ඔහු පුහුණු වෙමින් සිටි අතරවාරයේය. අප්‍රේල් 6 වැනිදා ඔහු තුවාලයට එන්නතක් ලබා ගෙන තිබේ.

තම උරහිස සියයට 60ක ප්‍රමාණයකින් ක්‍රියා කරන බව තරගයට පෙර පැවසූ පැකියාඕ, තරගයට පෙර ලබා ගන්නා එන්නත මගින් තමාට සම්පූර්ණ පරාසයක චලනය වීමේ හැකියාව ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බව කියා සිටියේය. එහෙත් එම එන්නත ඔහුට නොලැබිණි.

තරගයේ සිවුවැනි වටයේදී එකිනෙකට සම්බන්ධ කර තමා එල්ල කළ ප්‍රබල පහරවලින් තමාගේ තුවාළය යළි උග්‍ර වූ බවත් අවසානයේ මේවෙදර් වැඩි ලකුණුවලින් තරගය ජය ගත් බවත් පැකියාඕ කීවේය. සත්‍යය නොවන අයිතිවාසිකම් කියා සිටින බැවින් නඩුව අහකට වීසිවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව පැකියාඕගේ නීතිඥ ඩැනියල් පෙට්‍රොසෙලි පවසයි.

“පැකියාඕ තරගය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදී තුවාල ලබා සිටි බව එයින් කියනවා. එය ඇත්ත නෙවෙයි. පැකියාඕට තුවාලය සිදුවුනේ තරගයට මාසයකට පමණ කාලයකට පෙරයි. ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහුට තරගයට ඉදිරිපත් විය හැකි බවට තීන්දු කළා. සටන් කිරීමට මොහොතකට පෙර කොමිසමත් ඔහුව පරීක්ෂා කළා” පෙට්‍රොසෙලි කියා සිටී.