රෝස දිනයේ දී පාකිස්තානයට ඓතිහාසික ජයක්!

515

ජොහැන්ස්බර්ග් නුවර, වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (27) ක්‍රියාත්මක වූයේ සුප්‍රසිද්ධ රෝස දින එක්දින තරගයකි. පියයුරු පිළිකා පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට මෙන්ම, ඊට ආධාර මුදල් ඒකරාශී කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම රෝස එක්දින තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙන්ම ප්‍රේක්ෂකයින් ද රෝස පැහැයෙන් සැරසී පැමිණ සිටියේ තරගයට අමුතුම අලංකාරයක් එක් කරමිනි.

2011 වර්ෂයේ දී ඇරඹුණු මෙම සම්ප්රදායට මේ වන විට වසර 8ක් ගතවී ඇති අතර මීට පෙර පැවති රෝස දින තරග සියල්ල ජය ගත්තේ සත්කාරක දකුණු අප්‍රිකානුවන් විසිනි. නමුත් ඊයේ දිනයේ එම වාර්තා උඩු යටිකුරු කරමින් පෙරළිකාර ජයක් ලැබීමට පාකිස්තානු කණ්ඩායම සමත් විය.

එංගලන්තයට කොදෙව් දේශයේ දී දැවැන්ත පරාජයක්

රොස්ටන් චේස් ඉදිරියේ සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ පෑ අදක්ෂතා හේතුවෙන් බාබඩෝස්..

දෙරට අතර සිව්වැනි එක්දින තරගය මෙය වූ අතර ඒ වන විට තරග 2-1ක් ලෙස ඉදිරියෙන් සිටියේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. ඒ නිසාම දකුණු අප්‍රිකානුවන්ගේ තරග වාර්තා රැසක් දරා සිටින, සාපේක්ෂව විශාලත්වයෙන් අඩු වොන්ඩරස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය දකුණු අප්‍රිකානුවන්ට පෙනුණේ තරගාවලි ජය හිමිකර ගැනීමට ලැබුණු ලොතරැයියක් ලෙසිනි. ඩර්බන් හිදී පැවැත්වුණු දෙවැනි එක්දින තරගය අතරතුරේ දී ජයග්‍රහණය තමන්ගෙන් උදුරා ගනිමින් සිටි අන්දිල් පෙලුක්වායෝට සිදු කළා යැයි පැවසෙන නොසරුප් ප්‍රකාශ නිසා පාකිස්තානු නායක මොහොමඩ් සෆ්රාස්ට ජාත්යන්තර තරග 4ක තහනමක් පැනවූ බැවින් පාකිස්තානුවන් ද මෙම තරගයට මුහුණ දුන්නේ ගැටලු රැසක් මැදයි.

කඩුල්ල පිටුපස සිටි සෆ්රාස් “ඒයි කළු කොල්ලා, කොහෙද උඹේ අම්මා අද වාඩිවෙලා ඉන්නේ?? මොනවද උඹට අද උඹේ වැඩ ගැන ඇයට කියන්න තියෙන්නේ??” යනුවෙන් පෙලුක්වායෝට බැන වදින අයුරු කඩුල්ලේ සවිකර තිබූ මයික්‍රෆෝන හරහා තරග තීරකට අසන්නට ලැබීමෙන් පසු මෙම දඬුවම පනවන ලදි. ක්‍රිකට් ක්‍රීඩාවේ මෙවන් ක්‍රියා “Sledging” ලෙස හඳුන්වයි. ඊයේ දිනයේ සෆ්රාස්ගෙන් හිස්වුනු නායකත්වයේ වගකීම ජාත්යන්තර පිටියේ සිටින පරිණතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ශොයිබ් මලික්ට පැවරී තිබූ අතර කඩුල්ල පිටුපස වගකීම ඉටු කිරීමට මොහොමඩ් රිස්වාන්ව කණ්ඩායමට ඇතුළත් කර තිබුණි.

කාසියේ වාසිය දිනා ගත් ශොයිබ් මලික් මුලින් පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානුවන්ට ඇරයුම් කළේ දැවැන්ත අවදානමක් හිසමත දරාගෙනයි. කවදත් වොන්ඩරස් පිටියේ දී දැවැන්ත ලකුණු පුවරු නිර්මාණය කරන දකුණු අප්‍රිකානුවන්ට වඩා තම පන්දු යවන්නන් ගැන ඔහු විශ්වාසය තබන බව මෙම තීරණයෙන් පැහැදිලි විය. එම විශ්වාසය අකුරටම සුරැකි උස්මාන් කාන් ප්‍රමුඛ පන්දු යවන්නන් ප්‍රතිවාදීන්ව තම මව්බිමේ දී ම ලකුණු 164කට සීමා කළහ. විශේෂත්වය වන්නේ හෂීම් අම්ලා සහ ෆැෆ් ඩු ප්ලෙසිස් ඊයේ දිනයේ ශතක සබඳතාවයක් ගොඩ නැගූව ද අවසානයේ මෙම ඛේදජනක ඉරණමට මුහුණ පෑමට සිදුවීමයි!

දින තුනක් ඇතුළත ලද පරාජය ගැන චන්දිමාල් කතා කරයි

දින 5ක ටෙස්ට් තරගය දින 3ක් හමාරවීමටත් මත්තෙන් අවසන් වූයේ ශ්‍රී ලංකාවට සුපුරුදු..

සැබවින්ම අම්ලා රැස්කළ ලකුණු 59ත් නායක ප්ලෙසිස් රැස්කළ ලකුණු 57ත් ඇරෙන්නට වෙනත් කත කළ යුතු කිසිවක් දකුණු අප්‍රිකානු ඉනිම තුල තිබුණේ ද නැත. ඒ ඔවුන්ගේ නම ගිය කෙරුම්කාරයින් වන ඩි කොක්, මිලර්, හෙන්රික්ස් වැනි පිතිකරුවන් ඊයේ තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වූ බැවිනි. මෙම තරගාවලියේ දී ජාත්‍යන්තරයට හඳුන්වා දීමෙන් පසු පිත්තෙන් සුපිරි දක්ෂතා ප්‍රකට කළ නවක ක්‍රීඩක වැන් ඩර් ඩුසේන් ද ඊයේ ලබා ගත්තේ ලකුණු 18ක් පමණි. දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 69ක් ලබා ගනිමින් පෙරළිකාර ජයක් තම රටට හිමිකර දුන් අන්දිල් පෙලුක්වායෝ ද ඊයේ ලකුණු 11කට දැවී ගියේ සැමදා අවුරුදු නැති බව හඟවමිනි.

කවදත් ජාත්යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සුපිරි වමත් වේගපන්දු යවන්නන් තිලිණ කරන පාකිස්තානය වෙනුවෙන් ඊයේ 25 හැවිරිදි උස්මාන් කාන් කඩුලු 4ක් බිඳ දමමින් දස්කම් දැක්වීය. ඔවුන්ගේ අනෙක් වමත් වේග පන්දු යවන්නන් දෙදෙනා වන ශහීන් අෆ්රිඩි සහ මොහොමඩ් ආමීර් තවත් කඩුලු තුනකට වග කියූහ. ශදාබ් කාන් ද තම පා දඟපන්දුවෙන් ෆැෆ් ඩු ප්ලෙසිස්ව සහ ඉම්රාන් තහීර්ව මට්ටු කළේය. ඒ අනුව දකුණු අප්‍රිකානු ඉනිමේ තවත් පන්දුවාර 9ක්ම ඉතිරිව තිබිය දී ප්‍රතිවාදීන්ගේ සියලුම කඩුලු සොරා ගැනීමට පාකිස්තානුවන්ට අපහසු නොවීය.

ලකුණු හොඳින් තිබූ තණතිල්ලේ දකුණු අප්‍රිකානු පිතිකරුවන්ව අඩු ලකුණකට දවාලූ පන්දු යවන්නන්ගේ මහන්සිය දියකර හැරීමට පාකිස්තානු පිතිකරුවන් ද ඉඩ දුන්නේ නැත. ඒ පන්දුවාර 31යි පන්දු 3ක් අවසානයේ කඩුලු 8ක විශිෂ්ට ජයක් ලබා ගනිමිනි. මෙය ඔවුන් වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී ලැබූ මංගල එක්දින ජයග්‍රහණය ලෙස ද ඉතිහාසයට එක්විය. පාකිස්තානය වෙනුවෙන් කලින් තරගයේ දී ශතකයක් රැස්කළ ඉමාම් උල්-හක් ඊයේ දිනයේ ලකුණු 71ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 6ක් සහ ඉදිරියට පැන ලෝන්ග්-ඕෆ් කලාපය ඔස්සේ එල්ල කළ දැවැන්ත හයේ පහරක් සමඟිනි. කෙසේ වෙතත් දෙපිළේ ලකුණු සමවී තිබූ මොහොතේ දී නැවතත් දැවැන්ත පහරක් කරා යොමු වීමට දැරූ උත්සාහය වැරදී ගොස් ඔහුට කඩුල්ල ද අහිමි විය.

ඕස්ටේලියානු ටෙස්ට් සංචිතයේ හදිසියේම සිදුවූ වෙනස

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන තරග දෙකකින් සමන්විත..

නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් රිස්වාන් මුහුණ දුන් පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් පාකිස්තානු ජය මුද්‍රා තැබීය. බාබර් අසාම් ඒ වන තෙක්ම නොදැවී පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 41ක් රැස්කළ අතර ෆකාර් සමාන් ලකුණු 44කින් පාකිස්තානු ලකුණු පුවරුව ඉහළ දැමීය. දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක පස්වැනි සහ අවසන් එක්දින තරගය අනිද්දා (30) කේප්ටවුන් හිදී ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවේ කෙතරම් ප්‍රවීණයෙකු වුවද එදිනට කුසලානය දෝත දරන්නේ ඩු ප්ලෙසිස් ද, නැතහොත් ශොයිබ් මලික් ද යන්න නිවැරදිව පැවසීමට නොහැකි වනු ඇත. මක් නිසාද යත් තමන්ගේ දිනයේ දී මෙම කණ්ඩායම් දෙක ඕනෑම ජගතෙකු මට්ටු කළ හැකි පෙරළිකාරයින් බවට ඉතිහාසය සාක්ෂි දරන බැවිනි.

දකුණු අප්‍රිකාව – සියල්ලන්ම දැවී ලකුණු 164 (පන්දුවාර 41)

හෂීම් අම්ලා 59, ෆැෆ් ඩු ප්ලෙසිස් 57, වෑන් ඩර් ඩුසේන් 18, අන්දිල් පෙලුක්වායෝ 11, උස්මාන් කාන් 4/35, ශහීන් අෆ්රිඩි 2/24, ශදාබ් කාන් 2/42.

පාකිස්තානය – කඩුලු 2ක් දැවී ලකුණු 168 (පන්දුවාර 31.3)

ඉමාම් උල්-හක් 71, ෆකාර් සමාන් 44, බාබර් අසාම් 41*, මොහොමඩ් රිස්වාන් 4*, අන්දිල් පෙලුක්වායෝ 1/17, ඉම්රාන් තහීර් 1/51.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<