දින තුනක් ඇතුළත ලද පරාජය ගැන චන්දිමාල් කතා කරයි

2062

දින 5ක ටෙස්ට් තරගය දින 3ක් හමාරවීමටත් මත්තෙන් අවසන් වූයේ ශ්‍රී ලංකාවට සුපුරුදු පරාජය යළිත් අත්කර දෙමිනි. ඉනිම් දෙකම එකතු කළ ද ලකුණු 300 සීමාව හෝ ඉක්මවාලීමට අපට නොහැකි විය.

පිතිපෙළ නැවත වරක් නාය යයි; ශ්‍රී ලංකාවට ලැජ්ජා සහගත පරාජයක්!

තරගය පුරාවට දැක්වූ දියාරු පිතිකරණ රටාව නිසා ඕස්ට්‍රේලියානු සංචාරය අරඹමින් පැවති පළමු ටෙස්ට්…

මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට ඉනිම් දෙකේ දී ම රැස්කර ගත හැකි වූයේ ලකුණු 283ක් පමණක් වන අතර එය මෙතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියානු නිජ බිමේ දී ටෙස්ට් තරගයක දී රැස් කරන ලද දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් ද සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකාව 2004 දී ඩාර්වින් හිදී ද, 2012 වසරේ දී මෙල්බර්න් හිදී ද ඉනිම් දෙකම ලකුණු 259කට සීමා වීම එම අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින් සටහන් වේ.

මෙම තරගය සඳහා ලබා දී තිබූ  ගැබා තණතීරුව පන්දුවට පහර දීමට පහසු එකක් නොවන බව සැබෑය. එහෙත් අසීරු අවස්ථාවන් හිදී පිතිකරුවන් යැයි සම්මතව ඇතුළත් වූ කිසිවෙක් ඒ අභියෝගය භාර නොගැනීම පිටිපස නම් ඇත්තේ දැඩි විවේචනයකි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඕස්ට්‍රේලියානුවන් තුළ ඇති ප්‍රබලතම අවිය වන්නේ වේගපන්දුවයි. එයින් ඔවුන් සන්නද්ධ වී සිටිය ද ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීමේ සැලසුමක් නම් අප පිතිකරුවන් තුළින් දක්නට ලැබුණේ නැත. ඔවුන් පෙර පරිදි ආවා ගියෝය. දික්වැල්ලගේ ලකුණු 64ක ඉනිම නොවුණේ නම් පළමු ඉනිම ලකුණු 100න් ඔබ්බට යනවා බොරුය. එහෙත් පිතිකරුවන් මීට වඩා වගකීමක් ගෙන පන්දුවට පහර දුන්නේ නම් අපට මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ හැකියාව තිබුණි. එය ලකුණු 350ට එහා සීමාවක් යැයි නොකිව්ව ද ඒ පිළිබඳව වූ අභිප්‍රාය, වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයින් හැටියට මීට වඩා ඉහළ තැනක තිබිය යුතු බව නම් මතක් කළ දිය යුතුය.

කුලසේකර, සමීර සහ ප්‍රසංසන දිනයේ ශතකලාභීන් බවට පත්වෙති!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් …

මිචෙල් ස්ටාර්ක්ගේ පන්දු යැවීම එතරම් කැපී පෙනුන ද ආරම්භයේ සිටම පැට් කමින්ස් සහ ජේ රිචර්ඩ්සන් සිය වගකීම අකුරටම ඉටු කළහ. ඔවුන්ගේ පන්දුවල තිබිය යුතු වේගය, පාලනය, පතිත කිරීම සහ දෝලනය සියල්ල අංග සම්පූර්ණව ගැබ්ව තිබුණි. වේගපන්දු යවන්නකු නොවුණ ද නේතන් ලයන් ද ඉපිලීමක් ද සමඟ තියුණු දඟ කැවීමකින් යුක්තව සැලකිය යුතු අභියෝගයක් ශ්‍රී ලංකා පිතිකරුවන්ට එල්ල කරමින්, හුස්ම ගැනීමටවත් ඉඩ ලබා නොදුහ. අවසානයේ ශ්‍රී ලංකාව ඉදිරියෙන් පරාජය ලියැවුණේ ඉනිමක සහ ලකුණු 40ක අවමන් සහගත පරාජයක් ලෙසිනි.

පළමු ඉනිමේ දී ලකුණු 64 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව අවමානයෙන් බේරාගත් නිරෝෂන් දික්වැල්ල

පරාජයට හේතු වූ කාරණා සම්බන්ධව සිදු කරන ලද මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සුපුරුදු පරාජයේ දී එළියට දමන ‘පරණ තැටියම’ යළි වාදනය කළේ මෙලෙසිනි. ”අපිට පරාජයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට උවමනා නෑ. ඒත් ඔවුන් පන්දු යැවී ආකාරය සම්බන්ධ ප්‍රශංසාව ඔවුන්ට හිමි වනවා. විශේෂයෙන්ම පැට් කමින්ස්ට. ඔහු හැම වෙලාවෙම ඉතා හොඳින් පන්දු යැව්වා. ඔවුන් ඒ තණතීරුවේ පන්දු යැවිය යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න හරිම වැටහීමකින් යුතුව පන්දු යැව්වා” යැයි පවසයි.

“ගැබා තණතීරුව තරමක් ඉපිලෙන ස්වභාවයක් තියෙනවා කියලා ඕන කෙනෙක් දන්න දෙයක්. ඒත් ප්‍රධානම දේ වුණේ කමින්ස් ඔහුගේ පන්දුව නියමිත තැන පතිත කරමින් පන්දු යැව්ව එක. අපිට ඔහු ඉදිරියේ මීට වඩා හොඳින් ඔහුට පන්දුවට පහර දිය යුතුව තිබුණා. අපි මීට කලින් කමින්ස්ගේ පන්දු වලට මුහුණ දීලා තිබුණෙත් නෑ. මේ පළමු අවස්ථාව” යැයි පවසන චන්දිමාල්, “අපි ඇත්තටම ලද පරාජය ගැන කනගාටු වෙනවා”  යැයි ද පවසයි.

අවිශ්ක සහ කමිඳු අයර්ලන්තය නැවත හඬවයි

අවිශ්ක ප්‍රනාන්දුගේ ශතකයෙන් සහ කමිඳු මෙන්ඩිස්ගේ තුන් ඉරියව් දක්ෂතාවන් ඉදිරියේ අසරණ වූ සංචාරක …

“පන්දුවට පහර දීමේ දී තිබිය යුතු ගුණාත්මක භාවය මේ ඉනිම දෙකේ දී ම රඳවා ගන්න අපට නොහැකි වුනා. නමුත් අපි ලකුණු ලබාගත හැකි මාර්ග සොයා යා යුතුයි. අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළ යුත්තේ පළමු ඉනිමේ දී සැලකිය යුතු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහායි. ඒ පැත්ත තමයි අපි අපේ වර්ධනය කර ගත යුත්තේ. ඔබට ලකුණු 300 සීමාවක් එහා ලකුණු ලබා ගන්න බැරි නම් අනික් කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. ඒ ගැටලුව අපි වහාම හරිගස්ස ගත යුතුයි” යැයි චන්දිමාල් වැඩිදුරටත් කියයි.

මෙය ඉකුත් වසර දෙකක හෝ දෙකහමාරක තිස්සේ මෙරට ක්‍රිකට් තරග පරාජයේ දී නායකයා මෙන්ම පුහුණුකරුවන් මතුරන්නකි. තරගාවලි පිට තරගාවලි පරාජය වද්දීත් එසේ හඳුනාගත් අඩුපාඩු නිවැරදි කරගන්නේ කවදාද යන්න බාලගිරි දෝෂයට හසුවූවා සේය.

නායකයා ලෙසින් අසාර්ථක්තවයට පත් චන්දිමාල් දැවී ගිය අවස්ථාව.

චන්දිමාල් ගෙන බැලූ විට ද මෙම තරගයේ දී ඉනිම දෙකේ දී ම ඔහුගේ දායකත්වය ලකුණු 05ක් සහ 00කි. මුහුණ දුන් පන්දු සංඛ්‍යාව ගැන බැලූ විට එහි සමස්ත එකතුව ද පන්දු 08කි. ඒ අනුව බැලීමේ දී නායකත්වයේ වගකීම හෝ ඔහු හරියට ඉටු කිරීමට සමත් වී නැත. මේ ඔහු අසාර්ථක වූ පළමු අවස්ථාව නොවේ. හෙතෙම අවසන් ටෙස්ට් ශතකයක් ලබා ඇත්තේ මීට තරග 5කට උඩ දී ය. ඒ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවය. ඊට පසු ඔහු ක්‍රීඩා කරන ලද ඉනිම 09 දී ම ඔහු ලබා ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි. ඊළඟට ඔහු ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්ව ඇත්තේ අවස්ථා දෙකක දී පමණි. ඒ ලකුණු 39ක් සහ 33ක් වශයෙනි.

එහෙත් චන්දිමාල්ගේ අදහස වන්නේ මෙම තරගයේ දී අංක 3 පිතිකරු ලෙසින් ලද උසස්වීම එලෙසම පවතින්නේ නම් තමන් ඒ අභියෝගය භාර ගැනීමට සූදානම් බවයි. “මුල් කාලෙදි කඩුලු රැකීමේ කාර්යය සිදු කරන්න වුන නිසා, මම ගොඩක් වෙලාවට පන්දුවට පහර දීමට පැමිණෙන්නේ අංක 5 ස්ථානයෙන්. ඒත් දැන් කඩුලු රැකීමේ කාර්යය දික්වැල්ල ඉටු කරන නිසා කණ්ඩායමේ ඉන්න අත්දැකීම් සහිත පිතිකරුවෙකු විදියට පිතිකරණ අනුපිළිවෙළෙහි ඉදිරියෙන් ඇවිල්ලා වගකීමක් අරගෙන පන්දුවට පහර දෙන්න ඕන කියලා විශ්වාස කරනවා” යැයි පවසයි.

අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීම සම්බන්ධව කැමැත්තක් දක්වනු ලබන බව චන්දිමාල් සඳහන් කළ ද මීට පෙර ඒ ආකාරයේ අත්හදා බැලීම් ගණනාවක් සිදු කරනු ලැබීය. එහෙත් ඔහුට වඩා යෝග්‍ය වූයේ අංක 3 ස්ථානයෙන් පැමිණ නව පන්දුවට පහර දීමේ දී දක්වන ලද දක්ෂතාවයට වඩා අංක 5 ස්ථානයෙන් පැමිණ පහර දීමේ දී දක්වන ලද දක්ෂතාවයයි.

කෙසේ වෙතත් මෙම තරගාවලිය යටතේ කැන්බරාහි පැවැත්වෙන දෙවැනි තරගයට සඳහා ශ්‍රී ලංකා පිලට සූදානම් වීම සඳහා තවත් සතියක පමණ කාලයක් ඉතිරිව තිබේ. ඒ කාලය ඇතුළත තමන් අතින් සිදු වූ අඩුපාඩු මොනවාද යැයි හොඳින් අධ්‍යයනය කොට, පෙර පරිදි මෙන් වචනවලට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ම කිරීමට වග බලා ගන්නේ නම් එය පරාජයන් පිට පරාජයන් ලබද්දීත් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව සමඟ තවමත් අත්වැල් බැඳන් සිටිනා හෙම්බත් ක්‍රීඩාලෝලීන්ගේ හදවතට දැනෙන යමක් සිදු කිරීමක් වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<