සුපිරි සිම්බාබ්වේ ක්‍රීඩකයා ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යයි

479

දක්ෂ සිම්බාබ්වේ කඩුලු රකින පිතිකරුවෙකු වන Brendan Taylor ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ අද (13) අයර්ලන්තයට එරෙහිව Belfast හි පැවැත්වෙන එක්දින තරගයෙන් අනතුරුවයි.

2004 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගන්නා Taylor ටෙස්ට් තරග 34ක්, එක්දින තරග 204ක් සහ විස්සයි විස්ස තරග 45ක දී සිම්බාබ්වේ වෙනුවෙන් දක්ෂතා දක්වා තිබෙනවා. ඔහු දැනට පැවැත්වෙන අයර්ලන්ත තරගාවලිය අතරතුර දී, සිම්බාබ්වේ වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වීමට අවස්ථාවක් තිබෙන අතර මේ වන විට එහි පෙරමුණ ගෙන සිටින Andy Flowerට සාපේක්ෂව Taylor ලකුණු 109ක් පිටුපසින් පසුවෙනවා. 

එක්දින තරග දිවියේ ශතක 11ක් වාර්තා කරගෙන සිටින 34 හැවිරිදි Taylor දැනට සිම්බාබ්වේ සතුව සිටින වැඩිම එක්දින ශතකලාභියා ද වෙනවා. 

ටෙස්ට් තරග 34ක දී ලකුණු 2320ක් රැස්කරගෙන සිටින Taylor සිම්බාබ්වේ ටෙස්ට් ආකෘතියේ වැඩිම ලකුණු ලාභීන් අතර 4 වැනි ස්ථානයේ පසු වනවා. විස්සයි විස්ස ආකෘතියේ ඔහු තෙවැනි ස්ථානයේ පසු වන අතර Hamilton Masakadza සහd Sean Williams පළමු ස්ථාන තුල රැඳී සිටිනවා. 

කනගාටුවෙන් යුතුව මම ප්‍රකාශ කරනා හෙට (13) මම මගේ රට නියෝජන කරමින් සහභාගී වන අන්තිම තරගයට ක්‍රීඩා කරන බව, ඊයේ (12) සිය Twitter ගිණුම ඔස්සේ Taylor පවසා තිබුණා. 

වසර 17ක් පුරාවට මම හොඳම දක්ෂතා වගේම නරකම දක්ෂතාත් දක්වලා තියෙනවා. ඒ සියල්ල නිහතමානීව මට කියා දුන්නා මම කොච්චර වාසනාවන්ත ද මේ ස්ථානයේ දීර්ඝ කාලයක් රැඳී සිටින්න කියලා. 2004 කණ්ඩායම සමඟ එකතු වුන දා ඉඳලා මගේ අරමුණ වුනේ සෑමවිටම කණ්ඩායම වෙනුවෙන් හොඳම දේ ලබා දෙන්න. මම හිතනවා මම ඒ දේ කළා කියලා,  ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. 

අයර්ලන්තය සමඟ පැවති ආරම්භක එක්දින තරගයේ දී ලකුණු 49ක් වාර්තා කළ Taylor 1-0ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට තරගාවලියේ පෙරමුණ ලබා දෙන්නට දායක වුනා. දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර සිය කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමිකර දෙමින් සිය වෘත්තීය දිවියෙන් නික්ම යන්නට Taylor අපේක්ෂාවෙන් පසුවනවා. 

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<