කොරෝනාවෙන් පස්සේ වේගපන්දු ‍යැවීම වෙනස් වේවි ද?

65

නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ලොව පුරා සියලු තරග මේ වන විට අවලංගු කර ඇත. මීට මාස 2කට පමණ පෙර අවලංගු කළ එම තරග නැවත සාමාන්‍ය පරිදි පැවැත්වෙන දිනයක් තවමත් කිව නොහැක. 

එලෙස අවලංගු කළ තරග නැවත ආරම්භ කළ විට ක්‍රිකට් ලෝකයේ ඉහළම පන්දු යවන්නන්ට පන්දුවේ දෝලනය හා වේගය ලබා ගැනීමේ මාර්ගය වෙනස් කිරීමට සිදු වනු ඇතැයි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ඉෂාන්ත් ෂර්මා පසුගිය සඳුදා (18) පැවසීය.

පුහුණුවීම් අරඹන විට කෝලි සහ ශර්මා අතරමං වෙන ලකුණු

පන්දු යවන්නන් සාම්ප්‍රදායිකව දහඩිය හෝ ඛේටය මගින් පන්දුවේ එක් පැත්තක් පිරිමැදීම මඟින් පන්දුව වාතය තුල දී දෝලනයට ලක් කරයි. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ගෙන ඒමට නියමිත නව රෙගුලාසි මගින් ක්‍රීඩාව වෙනස් වනු ඇතැයි ඔහු සජීවී සාකච්ඡාවකට එක්වෙමින්  පැවසීය.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් වෙනුවෙන් ක්‍රීඩා කරන ඉෂාන්ත් පැවසුවේ ක්‍රීඩාව නැවත ආරම්භ වන විට නව නීති රීති අනුව ක්‍රීඩා කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

“මට හැඟෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නව තත්ත්වයන්ට හුරු වීමට සිදු වනු ඇති බවයි, එය කුමක් වුවත්” ඔහු පැවසීය.

පසුගිය සතියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය හෙවත් Australian Institute of Sports විසින් නව මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබුවේ තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා කොන්දේසියක් ලෙස පන්දුව මතුපිටට කෙළ හෝ දහඩිය දැමීම තහනම් කරමිනි.

ඕස්ට්‍රේලියාවේ හිටපු නායක ඉයන් චැපල් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යම් ආකාරයක පන්දු පළුදු කිරීමකට ඉඩ දිය යුතු යැයි යෝජනා කිරීමට ද එය හේතු විය.

“ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවා ඇති බැවින්, මෙම අභ්‍යාසය පැවැත්වීමට සුදුසුම කාලය මෙයයි,” චැපල් පැවසීය.

“ලවණ හා ඛේටය භාවිතා කිරීම සෞඛ්‍යයට තර්ජනයක් ලෙස දැන් පෙනෙන දෙයක්. එබැවින් පන්දුව දිදුලන සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට ‍යමක් ආදේශ කිරීමට පන්දු යවන්නන්ට අවශ්‍ය වෙනවා.”

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වැනි ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ද මෙම කොරෝනා වයිරසය නිසා දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු විය. ද්වීපාර්ශික තරගාවලි ඇතුළුව සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහා පැහැදිලි කාලසටහනක් මේ දක්වා සකස් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට හැකි වී නොමැත.

ඉන්දියාව රට පුරා කොරෝනා වයිරසය පැතිර යාම නිසා එරට සම්පූර්ණ වසාදැමීමකට යොමු වූ අතර එය මැයි මස 31 දක්වා දීර්ඝ කර ඇත. නමුත් ඉන්දීය ‍රජය විසින් නිකුත් කල නව නීති මඟින් සඳුදා සිට ප්‍රේක්ෂකයන්ගෙන් තොරව ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට අවස්ථාව ලබා දී ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට තමන් ඉක්මන් නොවන බවත් එයට පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සඳහා පුහුණු කඳවුරු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවත්ය. 

T20 ලෝක කුසලානයට හිටපු නායකයෙකුගෙන් යෝජනාවක්

2007 දී ඉන්දීය කණ්ඩායමට එක්වන ඉශාන්ත් ශර්මා ආබාධ කීපයක් හේතුවෙන් වරින් වන කණ්ඩායමෙන් ඉවත් විය. නමුත් 2019 වසරේ දී නැවත තම ආගමනය සටහන් කරන ඔහු වයිරසය හේතුවෙන් තරග අවලංගු වීමට පෙර තම සුපුරුදු රිද්මයට ළ ඟාවීමට සමත් විය. 

ටෙස්ට් තරග 97ක දී කඩුලු 412ක් සහ එක්දින තරග 80ක දී කඩුලු 412ක් ලබා ඇති මේ පන්දු යවන්නා තම 2018 සමය තුල දී ඉංග්‍රීසි ප්‍රාන්ත තරගාවලියේ සසෙක්ස් කණ්ඩායම වෙත එක්වීම ඔහුගේ දියුණුවට හේතුව ලෙස පවසා තිබුණි.

“මිනිස්සු දිගින් දිගටම මට කියනවා ඉෂාන්ත් 2.0 කියලා. ඒකෙන් මම රොබෝ කෙනෙක් වගේ හිතෙන්නේ. ඒත් 2017ට පෙර අවධිය තුල මට ලොකු පීඩනයක් තිබුණා. ඒ නිසා බලාපොරොත්තු වූ දස්කම් දක්වන්න බැරි වුනා”  ඔහු පැවසීය.

“එය මට නින්ද නොයන රාත්‍රි ගණනාවක් ලබා දුන්නා. මගේ පන්දු යැවීමේ දී මට කිසිම සතුටක් ලැබුණේ නැහැ. සසෙක්ස් ප්‍රාන්තය සමඟ ක්‍රීඩා කළ තරග සමය මගේ සෑම දෙයක්ම වෙනස් කළා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<