නායකත්වයෙන් තමා ඉවත් කිරීම සැලසුම්සහගත වැඩක් – ගංගුලි

510

2005 වසරේ දී තමා ඉන්දීය කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එවකට ඉන්දීය පුහුණුකරු හා බලධාරීන් සියල්ල සම්බන්ධ වී කටයුතු කළ බව හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු සෞරව් ගංගුලි පවසා සිටියා.

>> දකුණු අප්‍රිකානු පන්දු යවන්නාට වටෙන්ම දොස්මුර!

2005 දී ගංගුලි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමෙන් හිටිහැටියේ ඉවත් කිරීම එකල මාධ්‍යවල දැඩි අවධානයට යොමු විය. ඉන් වසර 15කට පසුව, 2005 වසරේ දී තමා කණ්ඩායමෙන් නෙරපා හැරීම අයුක්ති සහගත බව සව්රව ගංගුලි බෙංගාලි පුවත්පතක් වන Sangbad Pratidin වෙත පසුගිය දා පවසා සිටියේය. 

මේ ප්‍රවෘත්තිය ඉන්දියාව තුල ලැව්ගින්නක් සේ පැතිර ගියේ බොහෝ දෙනාගේ අවධානය දිනා ගනිමිනි. 

ඉන්දියාවේ හිටපු නායකයෙකු වන සෞරව් ගංගුලි  වර්තමානයේ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය හොබවයි. සෞරව් ගංගුලි සිය කීර්තිමත් ක්‍රිකට් දිවියේ දුෂ්කරම පරිච්ඡේදය ලෙස මෙම සිදුවීම හඳුන්වා තිබුණු අතර තම වෘත්තීය දිවියේ විශාලතම පසුබෑම වූයේ ඉන්දියානු නායක ධුරයෙන් නෙරපා හරිනු ලැබීමත්, පසුව 2005 වසරේ දී ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් කිරීම බවත් ගංගුලි පවසා තිබුණි. 

 “එය මගේ වෘත්තියේ ලොකුම පසුබෑම. එය ඇත්තෙන්ම අසාධාරණයක්. අපිට සැමවිටම යුක්තිය ඉටුවන්නේ නැහැ කියලා මම දන්නවා. නමුත් එහෙම වුනත් ඒ තීරණය ගැන මම තවමත් පුදුම වෙනවා. සිම්බාබ්වේ හි පැවති තරගාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායමේ නායකයා වුනේ මම. ඒත් මම නැවත ඉන්දියාවට ආවට පස්සේ මාව කණ්ඩායමෙන් ඉවත් කළා.”

“මම සිහින මැව්වා 2007 ලෝක කුසලානය ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රහණය කරන්න. අපි කලින් තරගාවලියේ අවසන් තරගයේ දී පරාජයට පත්වුනා. මට සිහින දකින්නට හේතු තිබුණා. කණ්ඩායම අවුරුදු පහක් තිස්සේ මගේ නායකත්වය යටතේ ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඉන්දියාවේ දී වුනත් ඉන් පිටත දී වුනත් කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. එහෙනම් කවුරුහරි හදිසියේම මාව ඉවත් කරනවා ද? පළමුවෙන්ම, මට දැන්වූවා මම එක්දින කණ්ඩායමේ නොසිටින බව. පසුව ඔවුන් මාව ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කළා” ගංගුලි පැවසීය.

>> 2011 ලෝක කුසලාන විමර්ශන වාර්තාව නීතිපතිට

එවකට ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු ග්‍රෙග් චැපල් ගංගුලිට එරෙහිව ඉන්දීය ක්‍රිකට් ආයතනය වෙත ඊමේල් පණිවුඩයක් යවා තිබුණු අතර එම ඊමේල් පණිවිඩය පසුව මාධ්‍ය වෙත ද ලැබී තිබුණි. මෙම සිදුවීම් සඳහා මූලික හේතුව එය බව ගංගුලි Sangbad Pratidin වෙත පවසා සිටියේය.

“මට ග්‍රෙග් චැපල්ට පමණක් දොස් පැවරීමට අවශ්‍ය නැහැ. ඒත් ඒක ආරම්භ කළේ ඔහු බව කිසිදු සැකයක් නැහැ. ඔහු හදිසියේම මට එරෙහිව ඊමේල් පණිවිඩයක් ක්‍රිකට් ආයතනයට යවලා තිබුණා. මේ වගේ දෙයක් වෙන්න පුළුවන් ද? ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නේ පවුලක් වගේ. පවුල තුළ මතභේද, වැරදි වැටහීම් තියෙන්න පුළුවන්. ඒත් ඒවා සාකච්ඡා කරලා විසඳගන්න ඕන. ඔබ පුහුණුකරුවෙක් නම් මම යම් වෙනස් ආකාරයකින් ක්‍රීඩා කළ යුතු යැයි ඔබ සිතනවා නම් ඇවිල්ලා මට කියන්න ඕනේ. මම ක්‍රීඩකයෙකු ලෙස ආපසු පැමිණි විට ඔහු ඒ දේවල් මට කිව්වා. ඒත් ඇයි ඒවා කලින් කිව්වේ නැත්තේ?”

“අනෙක් අය ද අහිංසක නැහැ. ක්‍රීඩකයන් තේරීමේ දී කිසිවක් නොකියන විදේශීය පුහුණුකරුවෙකුට ඉන්දීය නායකයෙකු ඉවත් කරන්න බැහැ. සමස්ත පද්ධතියේ සහාය නොමැතිව මෙය කළ නොහැකි බව මම තේරුම් ගත්තා. මාව ඉවත් කරන යෝජනාවට අන් හැමෝම සම්බන්ධ වුනා. නමුත් මම පීඩනයට ලක් වුනේ නැහැ. මට මම ගැන විශ්වාසයක් තිබුණා. එය නැති වුණේ නැහැ” ගංගුලි තවදුරටත් පැවසීය.

2005 දී ඉන්දීය කණ්ඩායමෙන් ඉවත් සෞරව් ගංගුලි ඉන් අනතුරුව 2006 දී දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ඉන්දීය කණ්ඩායමට නැවත පැමිණියේය. ගංගුලිගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීම අතරතුර ඔහු තම ලකුණු මල්ලට විශාල ලකුණු ප්‍රමාණයක් එක් කරගත්තේය. ඉන් අනතුරුව ඔහු ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ දෙවසර තුළ ඔහුගේ දක්ෂතම ඉනිම් කිහිපයක් ක්‍රීඩා කළේය.

>> පළමු පෙළ දේශීය ක්‍රිකට් තරගාවලිය තවත් පස්සට

2008 දී නාග්පූර්හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමෙන් පසු සෞරව් ගංගුලි තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

විශ්‍රාම යන විට ගංගුලි ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 311ක දී ලකුණු 11,363ක් රැස් කර තිබුණි. එහි දී ශතක 22ක් වාර්තා කිරීමට ඔහු සමත් විය. ගංගුලි ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 113ක් නියෝජනය කළ අතර එහි දී ලකුණු 7212ක් රැස් කළේ 42.17ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු සඳහා ශතක 16ක් ඇතුළත් විය.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව තුල ශ්‍රේෂ්ඨතම නායකයෙකු ලෙස ගංගුලි හැඳින්විය හැක. 2000 වසරේ සිට ඉන්දීය කණ්ඩායම ක්‍රමයෙන් ගොඩනගාගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉන්දීය නාමය නැවත ඉදිරියට ගෙන ඒමට ඔහු සමත් විය. විරේන්ද්‍ර ශෙවාග්, යුව්රාජ් සිං, හර්බජාන් සිං සහ සහීර් ඛාන් වැනි තරුණයින් ශූර ක්‍රීඩකයන් බවට පත්කිරීමට ද ගංගුලි දැක්වූ දායකත්වය කැපීපෙනිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<