රාජ්‍ය සේවා පිටිය කැළඹූ වව්නියා පොලිස් මෙහෙයුම

SLSSCA Annual Cricket Tournament ( Div – C ) 2024

351

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් රාජ්‍ය ආයතනය C කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවේ වව්නියාව කණ්ඩායම පසුගිය දා සමත් වූවා.  

ඔවුන් වෙතින් පරාජයට පත් වූයේ රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමයි.   

කණ්ඩායම් 9ක් සහභාගී වූ මෙම තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා රේගු දෙපාර්තමේන්තුව, වව්නියා පොලිසිය, උතුරු මැද පළාත සහ බන්ධනාගාර දෙපාර්තමෙන්තුව පිළිවෙළින් සුදුසුකම් ලබා ගත්තා.  

ඒ අනුව රේගු දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර පැවැති පළමු  අවසන් පූර්ව තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත් රේගු දෙපාර්තමේන්තු කණ්ඩායම ද සහ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 66ක ජයග්‍රහණයක් ලබා ගත් වව්නියා පොලිස් කණ්ඩායම ද අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා. 

වව්නියා පොලිස් කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ 
  ප්‍රතිවාදීන්  තරගයේ විසඳුම 
1  දුම්රිය දෙපාර්තමේන්තුව  වව්නියා පොලිස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්.  
2  ගාල්ල මහ නගර සභාව  තරගයේ විසඳුමක් නෑ. 
3  උතුරු මැද පළාත  තරගයේ විසඳුමක් නෑ.  
4  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය  තරගයේ විසඳුමක් නෑ.  
5  රේගු දෙපාර්තමේන්තුව  තරගයේ විසඳුමක් නෑ.  
6  විවෘත විශ්ව විද්‍යාලය  වව්නියා පොලිස් කණ්ඩායමට ලකුණු 166ක ජයක්.  
7  බන්ධනාගාර දෙපාර්තමේන්තුව   වව්නියා පොලිස් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.  
8  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව  තරගයේ විසඳුමක් නෑ.  
අවසන් පූර්ව තරගය 
9  උතුරු මැද පළාත  වව්නියා පොලිස් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 66ක ජයක්.  
අවසන් මහා තරගය 
10  රේගු දෙපාර්තමේන්තුව  වව්නියා පොලිස් කණ්ඩායමට ලකුණු 44ක ජයක්.  

 

අවසන් මහා තරගය 

  • පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායම: විපුල නුවන් (නායක), අශෝක් කුමාර් (කඩුලු රකින්නා), ඉන්දික කුමාර, චමින්ද සේනාරත්න, ප්‍රනීත් චතුරංග, තුසිත නන්දන, අනුශ්ක රාමනායක, හසිත පතිරත්න, කීර්ති බණ්ඩාර, පේශක ලක්ෂාන්, අරුණ දසනායක.

අතිරේක: ක්‍රිශාන්ත බණ්ඩාර, චරිත් කරුණාරත්න, ප්‍රේමලාල් වික්‍රමසිං, ජීවන් වර්ණකුලසූරිය, චරිත් කරුණාරත්න, ප්‍රේමලාල් වික්‍රමසිංහ. 

  • රේගු දෙපාර්තමේන්තු කණ්ඩායම: කල්පන ද සිල්වා (නායක), කලන හෙට්ටිආරච්චි, ලියෝන් මධුශාන් (කඩුලු රකින්නා), මල්ෂාන් පෙරේරා, සඳුන් බටගොඩ, Journ Mark, භාතිය හෙට්ටිආරච්චි, තිළිණ තිලකරත්න, නිශාන් පෙරේරා, ප්‍රමෝද් ආරියරත්න, සංජය මල්ලාව.

අතිරේක: කල්පන සංජය, පසිඳු දුලාංජන, සජිත් සිරිබද්දන. 

කාසියේ වාසිය දිනා ගත් රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වව්නියා පොලිස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 254ක් ලබා ගැනීමට සමත් වූවා.  

එම ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 70ක සබඳතාවක් එක් කිරීමට අශෝක් කුමාර් සහ ඉන්දික කුමාර සමත් වූවා. පන්දු 41ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා සිටිය දී ඉන්දික කුමාරගේ කඩුල්ල දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා.  

අනතුරු ව කඩුල්ලට එක් වූ චමින්ද සේනාරත්න (25) එක් ව තවත් ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට අශෝක් කුමාර් සමත් වූවා. පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත් අශෝක් කුමාර් 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා.  

අනතුරුව පොලිස් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ප්‍රනීත් චතුරංග. ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී නිශාන් පෙරේරා ලකුණු 56කට කඩුලු 3ක් දවා ගත් අතර එය රේගු කණ්ඩායම වෙනුවෙන් පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව වූවා.  

ඊට අමතර ව භාතිය හෙට්ටිආරච්චි සහ සඳුන් බටගොඩ කඩුලු 2 බැගින් දවා ගත් අතර තිළිණ තිලකරත්න සහ ප්‍රමෝද් ආරියරත්න කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 210ක් පමණයි.  

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ලියොන් මධුශංක. ඔහු පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා.  

ලියෝන් මධුශංක සහ ජෝන් මාර්ක් එක් ව සිව්වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ගොඩ නගමින් රේගු දෙපාර්තමේන්තු කණ්ඩායම ජයග්‍රාහණයට පාර සකසා ගනිද්දී ඊට පසුව කඩුල්ල වූ 5 වැනි කඩුල්ලේ දී ද ලකුණු 50ක සබඳතාවක් එක් කිරීමට Journ Mark සහ භාතිය හෙට්ටිආරච්චි (29) සමත් වූවා.  

නමුත් එතැන් සිට තරගයේ පාලනය වව්නියා පන්දු යවන්නෝ සතු කර ගත්තා. ප්‍රතිවාදී රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමේ අවසන් කඩුලු 5 ලකුණු 37ක් තුළ දවා ගැනීමට ඔවුන් සමත් වෙනවා.  

වව්නියා පොලිස් ක්‍රීඩකයෝ එලෙස ප්‍රබල තර්ජනයක් එල්ල කරද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගත් Journ Mark, 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී හසිත පතිරත්න ලකුණු 45කට කඩුලු 4ක් දවා ගනිමින් පොලිස් කණ්ඩායමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව අනුශ්ක රාමනායක කඩුලු 2ක් දවා ගනිද්දී චමින්ද සේරාත්න සහ ඉන්දික කුමාර ද කඩුල්ල බැගින් බෙදා ගත්තා.  

අවසන් මහා තරගය, රත්මලාන, SLSSCA Annual Cricket Tournament 2024 

  • ක්‍රීඩාංගණය – ජාතික සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, රත්මලාන 
  • කාසියේ වාසිය – රේගු දෙපාර්තමේන්තුව. 

පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායම – කඩුලු 9ක් දැවී 254 (50.0) අශෝක් කුමාර් 54, ඉන්දික කුමාර 31, චමින්ද සේනාරත්න 25, ප්‍රනීත් චතුරංග 48, සඳුන් බටගොඩ 2/54, නිශාන් පෙරේරා 3/56, භාතිය හෙට්ටිආරච්චි 2/31 

රේගු දෙපාර්තමේන්තු කණ්ඩායම – සියලුම දෙනා දැවී 210 (44.0) ලියෝන් මධුශාන් 66, Journ Mark 59, භාතිය හෙට්ටිආරච්චි 29, අනුශ්ක රාමනායක 2/41, හසිත පතිරත්න 4/45 

පොලිස් දෙපාර්තමේන්තු වව්නියා කණ්ඩායමට ලකුණු 44ක ජයක්.  

තරගාවලියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ 

තරගාවලියේ පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානය වෙන් කර ගන්නේ අවසන් මහා තරගයට එක් වූ රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමේ ලියෝන් මධුශාන්. ඔහු තරග 9ක දී ශතකයක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 349ක් ලබා ගත්තා.  

ඒ අතර වන ඔහුගේ හොඳම ඉනිම බවට පත් වූයේ විවෘත විශ්වවිද්‍යාලයට එරෙහිව පන්දු 97ක දී ලබා ගත් ලකුණු 137යි. ඔහුගේ අර්ධ ශතක ඉනිම් 2 ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ අවසන් තරගයේ දී වව්නියාව පොලිසියට එරෙහිව එල්ල වුණා.  

මෙම ලැයිස්තුවේ දෙවැනි අසුන වෙන් වෙන්නේ උතුරු මැද පළාත් කණ්ඩායමේ අන්දිමුරුගන් මහේන්ද්‍රන්. ඔහු තරග 8ක දී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 304ක් ලබා ගත්තා. ඊට ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශ්‍යට එරෙහිව පන්දු 104කට මුහුණ දී ලබා ගත් ලකුණු 104ක් සහ වව්නියාව පොලිස් කණ්ඩායමට එරෙහිව පන්දු 63ක දී ලබා ගත් ලකුණු 80ක් ද ඇතුලත්.  

එහි තෙවැනි අසුන ද වෙන්වන්නේ උතුරු මැද පළාත් කණ්ඩායමට වීම විශේෂත්වයක්. එම කණ්ඩායමේ පවිත්‍ර මධුශාන් තරග 7ක දී ලකුණු 275ක් ලබා ගනිමින් එම අසුන වෙන් කර ගත්තා. ඊට දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායමට, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ වව්නියාව පොලිස් කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 3ක් ඇතුලත්.  

මෙම ලැයිස්තුවේ ජයග්‍රාහී පොලිස් කණ්ඩායම වෙනුවෙන් ඉදිරියෙන් ම පසු වෙන්නේ ක්‍රිශාන්ත බණ්ඩාර. ඔහු තරග 6ක දී දුම්රිය දෙපාර්තමේන්තුවට සහ විවෘත විශ්වවිද්‍යාලයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 193ක් ලබා ගත්තා.  

ඊට අමතර ව අර්ධ ශතකයක් සමඟින් ලකුණු 134ක් ලබා ගත් ප්‍රනීත් චතුරංග සහ ලකුණු 123ක් ලබා ගත් චමින්ද සේනාරත්න මෙම ලැයිස්තුව හා එක් වෙනවා.  

තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන් අතුරින් පළමු අසුන වෙන්කර ගන්නේ රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමේ නිශාන් පෙරේරා. ඔහු තරග 9ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 22ක් වන අතර ඔහුගේ හොඳම පන්දු යැවීම බවට පත් වූයේ උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 32කට දවා ගත් කඩුලු 4යි.  

ඊට අමතර ව වව්නියා පොලිස් කණ්ඩායමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට සහ නැවත අවසන් මහා තරගයේ දී වව්නියාව පොලිස් කණ්ඩායමට එරෙහිව ලබා ගත් කඩුලු 3 ඉනිම් 3ක් ද ඇතුලත්.  

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානයට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ චාමර මධුශංක සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කැලුම් වීරසේකර සම ව අසුන් වෙන්කර ගන්නවා. ඔවුන් දෙදෙනා කඩුලු 16 බැගින් දවා ගන්නවා.  

මෙම ලැයිස්තුවට ජයග්‍රාහී පොලිස් කණ්ඩායම වෙනුවෙන් පළමුවෙන් ම එක් වෙන්නෙ හසිත පතිරත්න. ඔහු තරග 6ක දී කඩුලු 16ක් ලබා ගනිමින් මෙම ලැයිස්තුව හා සිවු වැනියා බවට පත් වෙමින් එකතු වෙනවා.  

ඊට අමතර ව කඩුලු 7ක් බැගින් ලබා ගත් චමින්ද සේනාරත්න සහ ඉන්දික කුමාර ද මෙන් ම කඩුලු 5ක් ලබා ගත් අනුශ්ක රාමනායක ද මෙම ලැයිස්තුව හා එක් වෙමින් සිටිනවා.    

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<