පැපුවා නිව්ගීනියාව අසරණ කරමින් බංග්ලාදේශය සුපිරි 12ට

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

208
ICC via Getty

මේ දිනවල පැවැත්වෙන 2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (21) පැපුවා නිව්ගීනියාව සහ බංග්ලාදේශය අතර ඕමානයේ මස්කට් නුවර Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගාවලියේ ඉදිරි වටයට පිවිසීම සඳහා බංග්ලාදේශ කණ්ඩායමට දල ලකුණු වේගය ඉහළ නංවා ගනිමින් ජය ගත යුතුම තරගයක් වූ මෙම තරගය ලකුණු 84කින් ජයග්‍රහණය කරන්නට බංග්ලාදේශයට හැකි වුනා.

කාසිය වාසිය දිනා ගත් බංග්ලාදේශ නායක Mahmudullah පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

  • බංග්ලාදේශය: Mohammad Naim, Liton Das, Mahedi Hasan, Shakib Al Hasan, Nurul Hasan (wk), Afif Hossain, Mahmudullah (c), Mushfiqur Rahim, Mohammad Saifuddin, Taskin Ahmed, Mustafizur Rahman
  • පැපුවා නිව්ගීනියාව: Lega Siaka, Assad Vala (c), Charles Amini, Sese Bau, Simon Atai, Hiri Hiri, Norman Vanua, Kiplin Doriga (wk), Chad Soper, Kabua Morea, Damien Ravu

ප්‍රතිවාදීන්ට විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අරමුණින් Mohammad Naim සහ Liton Das බංග්ලාදේශ ඉනිම ආරම්භ කළත්, Mohammad Naim ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වුනේ Kabua Moreaගේ පන්දුවක් හමුවේයි.

දෙවැනි කඩුල්ල සඳහා පිටියට එක්වූ Shakib Al Hasan සහ Liton Das ලකුණු 50ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ නමුත් ලකුණු 29ක් ලබා සිටි Liton Das පිටියෙන් ඉවත් කරමින් එම සම්බන්ධතාවට තිත තැබීමට පැපුවා නිව්ගීනියා නායක Assad Valaට හැකි වුනා.

Mushfiqur Rahim ලකුණු 5ක් පමණක් රැස්කරමින් පිටියෙන් ඉවත් වූ අතර පන්දු 37ක දී හයේ පහර 3ක් සමඟ ලකුණු 46ක් රැස්කළ Shakib Al Hasan පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ බංග්ලාදේශ ලකුණු පුවරුව 101ක් වන විටයි.

නමුත් අවසන් පන්දුවාර කිහිපයේ දී Mahmudullah, Afif Hossain සහ Mohammad Saifuddin දියත් කළ වේගවත් ඉනිම් නිසාවෙන් බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස්කිරීමට හැකි වුනා.

Mahmudullah හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 50ක් රැස්කිරීමට සමත් වූ අතර Afif Hossain පන්දු 14ක දී ලකුණු 21ක් සහ Saifuddin පන්දු 6ක දී ලකුණු 14ක් රැස්කළා.

පන්දු යැවීමේ දී Kabua Morea, Damien Ravu සහ Assad Vala අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගිය අතර Simon Atai එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 182ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පැපුවා නිව්ගීනියා ඉනිම ආරම්භ කළේ Lega Siaka සහ Assad Vala විසිනුයි.

සිය අත්දැකීම් උපයෝගී කර ගනිමින් ආරම්භයේ සිටම පැපුවා නිව්ගීනියා ඉනිම විනාශ කළ බංග්ලාදේශ පන්දු යවන්නන් මුල් කඩුලු 7 ලකුණු 29ක් තුළ දවා ගැනීමට සමත් වුනේ Lega Siaka, Assad Vala, Charles Amini, Sese Bau, Simon Atai, Hiri Hiri සහ Norman Vanua යන පිතිකරුවන් නරඹන්නන් බවට පත් කරමිනුයි.

පසුගිය තරගයේ දී මෙන්ම මෙම තරගයේ ද තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ Shakib Al Hasan සිය පන්දුවාර 4 නිමාවට පත්කළේ ලකුණු නවයක් පමණක් ලබා දී කඩුලු 4ක් දවාගෙනයි.

විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව වූ 39ට අඩුවෙන් සියල්ලන් දැවී යාමේ අවදානමකට පැපුවා නිව්ගීනියා කණ්ඩායම පත්ව තිබූ මොහොතක 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 25ක කෙටි සම්බන්ධතාවක් ගොඩනැගීමට Kiplin Doriga සහ Chad Soperට හැකි වුනා.

සිය කණ්ඩායමට මද අස්වැසිල්ලක් ගෙන දෙමින් පන්දු 34ක් තුළ සටන්කාමී ලකුණු 46ක් රැස්කිරීමට Kiplin Dorigaට හැකි වූවත්, පැපුවා නිව්ගීනියා කණ්ඩායමට පන්දුවාර 19.3ක දී සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

පන්දු යැවීමේ දී Shakib Al Hasanට අමතරව Mohammad Saifuddin සහ Taskin Ahmed කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වුනා.

ඒ අනුව මෙම තරගයේ ලද ලකුණු 84ක ජයග්‍රහණයත් සමඟ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශයට හැකි වූ අතර අද රාත්‍රියේ පැවැත්වෙන ඕමානය සහ ස්කොට්ලන්තයේ තරග ප්‍රතිඵලය මත ඔවුන්ට හිමි වන කාණ්ඩය තීරණය වනු ඇත.

  • බංග්ලාදේශය: 181/7 (20) – Mahmudullah 50, Shakib Al Hasan 46, Kabua Morea 2/26, Assad Vala 26/2
  • පැපුවා නිව්ගීනියාව: 97/10 (19.3) – Kiplin Doriga 46*, Shakib Al Hasan 4/9, Taskin Ahmed 3/12

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානයේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (21) රාත්‍රියේ ඕමානය සහ ස්කොට්ලන්තය අතර ඕමානයේ Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගයේ තොරතුරු ඇතුළුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

>> Click here to view Full Scorecard