වනිඳුගේ දඟ පන්දුව ප්‍රබල SSC පිළ මවිත කරයි

785
SLC Premier League - Tier A

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින්ට තම නිසඟ හැකියාවන් විදහා දැක්විය හැකි තෝතැන්නක් වන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ සිව්දින තරග 4ක් අද (14) ආරම්භ විය. එහිදී මේ වනවිට තරග තුන බැගින් ජයගෙන ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසුවන හලාවත මේරියන්ස් සහ SSC කණ්ඩායම් දෙක ප්‍රතිවාදී පන්දු යැවීම හමුවේ යම් තරමක පීඩනයකට ලක්වුනු අතර වනිඳු හසරංග, දුලාංජන මෙන්ඩිස් සහ නිලංක ප්‍රේමරත්න අද කඩුලු 5 බැගින් බිඳ හෙලූ ක්‍රීඩකයින් තිදෙනා බවට පත්විය.

යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එංගලන්තයේ ජය මාවත අහුරයි

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර නුදුරේදීම ආරම්භ වීමට නියමිත නිල නොවන ටෙස්ට් තරග දෙකටත්, එක්දින…

සිංහල ක්‍රීඩා සමාජය සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සිංහල ක්‍රීඩා සමාජය අද ලකුණු 147කට දැවී යාම තරමක් සුවිශේෂී සිදුවීමක් බවට පත්විය. SSC පිතිකරුවන් කිසිවෙකුට අද දිනයේ අර්ධ ශතකයක් කරා හෝ ලඟා වන්නට ඉඩ නොලැබුණු අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වශයෙන් කෞෂාල් සිල්වා ලකුණු 47ක් රැස් කළේය. CCC ක්‍රිකට් සමාජය වෙනුවෙන් ප්‍රතිවාදී ඉනිම බිඳ දැමීමේ වගකීම කරටගත් තවමත් 19 වැනි වියේ පසුවන දක්ෂතා වලින් සපිරුණු යොවුන් ක්‍රීඩක වනිඳු හසරංග තම දඟ පන්දුවේ ආධාරයෙන් ලකුණු 15කට කඩුලු 5ක් බිඳ හෙලීය. පන්දුවෙන් ඉහළ දක්ෂතා දැක්වූවත් පිත්තෙන් සාර්ථක වීමට හැකි නොවූ CCC කණ්ඩායම ප්‍රථම දිනය නිමාවෙද්දී ලකුණු 89කට කඩුලු 6ක් දැවී අසීරු තත්වයක පසුවේ.

සිංහල ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 147 (පන්දුවාර 47): කවිඳු කුලසේකර 43, කෞෂාල් සිල්වා 47, මිනෝද් භානුක 24, වනිඳු හසරංග 5/15, රනිත ලියනාරච්චි 2/35.

කොළඹ ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 89 (පන්දුවාර 20.2): රොෂාන් අනුරුද්ධ 25*, ඩිල්ශාන් අබේසිංහ 3/44, සචිත්‍ර සේනානායක 2/14.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වුනු මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සියල්ලන්ම දැවී රැස්කලේ ලකුණු 168ක් පමණි. ඒ අනුව මේ වනවිට සුපිරි 8 වටයේ තමන් සහභාගි වුනු තරග තුනම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ අංක එකේ පසුවන මේරියන්ස් ක්‍රීඩා සමාජයට ප්‍රථම දිනයේදීම යම් තර්ජනයක් එල්ල වී තිබේ. රාගම ක්‍රිකට් සමාජය වෙනුවෙන් අගනා පන්දු යැවීමක යෙදුනු වමත් වේගපන්දු යවන ක්‍රීඩක නිලංක ප්‍රේමරත්න ලකුණු 41කට ප්‍රතිවාදී පිතිකරුවන් පස්දෙනෙකු නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත් විය. මේ වනවිට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන රාගම පිතිකරුවන් කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලබා සිටියි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 41.4): මහේල උඩවත්ත 41, නිලංක ප්‍රේමරත්න 5/41, සහන් නානායක්කාර 2/18.

රාගම ක්‍රිකට් සමාජය – කඩුලු 2ක් දැවී ලකුණු 86 (පන්දුවාර 30): සමින්ද ප්‍රනාන්දු 50*.


කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අතර තරගය

පනාගොඩ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රථම දිනය නිමාවට පත්වූයේ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට වැඩි වාසිය හිමිකර දෙමිනි. මුලින් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සියල්ලන්ම දැවී ලකුණු 218ක් රැස්කල අතර, පන්දු යවන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත් වූවත් මේ දිනවල පිත්තෙන්ද දක්ෂතා දක්වන අකිල ධනංජය නොදැවී ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය. දුලාංජන මෙන්ඩිස් පන්දුවෙන් දක්ෂතා ප්‍රකට කරමින් ලකුණු 71කට කඩුලු 5ක් බිඳ හෙලීය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන ටැමිල් යූනියන් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 117ක් ලබාගෙන සිටියි.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 52.2): අකිල ධනංජය 52*, සදීර සමරවික්‍රම 52, ප්‍රියමාල් පෙරේරා 47, පසිඳු ලක්ශංක 23, දුලාංජන මෙන්ඩිස් 5/71, රමිත් රඹුල්වැල්ල 4/75.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 117 (පන්දුවාර 33): සිතාර ගිම්හාන් 43, කිත්රුවන් විතානගේ 26, අලි කාන් 2/45, ඉශාන් ජයරත්න 2/19.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ NCC අතර තරගය

කටුනාය‍ක FTZ පිටියේදී අද ආරම්භ වුනු මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 268ක් රැස් කළහ. ඔවුන්ගේ ආරම්භය එතරම් ශක්තිමත් නොවූවත් මැදපෙළ ක්‍රීඩකයින් කිහිප දෙනා පිතිකරණ අංශයේ බර දරා ගැනීමට සමත් වූ නිසා මෙම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීම ඔවුන්ට එතරම් ගැටලුවක් නොවීය. NCC පළමු ඉනිම වෙනුවෙන් තිමිර ජයසිංහ සහ ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 53 බැගින් රැස් කළහ. දිනය නිමාවන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා ක්‍රීඩා සමාජය කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබාගෙන සිටිති.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 268 (පන්දුවාර 68.2): ඇන්ජෙලෝ පෙරේරා 53, තිමිර ජයසිංහ 53, චතුරංග ද සිල්වා 42, ලහිරු උදාර 35, ජෙහාන් මුබාරක් 39, යසෝධ මෙන්ඩිස් 4/65, දුශාන් විමුක්ති 3/64, ජනිත් සිල්වා 2/41.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 23 (පන්දුවාර 5)

මෙම සියලුම තරග හෙට දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට