බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින් තරගයේ අණසක පතුරවයි

570
SLC Premier League Tier A

දේශීය ක්‍රිකට් පිටියේ දක්ෂයින්ට තම හැකියාවන් විදහා දැක්වීමට රඟ මඬලක් තනා දෙන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කරමින් අද (03) ක්‍රියාත්මක වූයේ එක් තරගයක් පමණි. එහිදී ප්‍රතිවාදී ගාලු ක්‍රිකට් සමාජය පසුපසට ඇද දමමින් තරගයේ අණසක පැතිරවීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමත්ව සිටියි.

පසුගිය ලිපි: දඟ පන්දුවේ තර්ජනය හමුවේ අදීශ නානායක්කාර සාර්ථක පිතිකරණයක

ඊයේ ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 266ක් ලබා සිටි බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමට අද තවත් ලකුණු 10ක් එක් වෙද්දී අවසන් පිතිකරු ලෙස ලකුණු 19ක් ලබා සිටි ඉම්රාන් කාන් දවා ගැනීමට රොෂාන් ජයතිස්ස සමත් විය. ඒ සමඟින් බ්ලූම්ෆීල්ඩ් ප්‍රථම ඉනිමේ නිමාව සනිටුහන් වූයේ ගාලු පිතිකරුවන්ට පළමු ඉනිමේ ජයග්‍රහණය ස්ථිර කර ගැනීම සඳහා ලකුණු 277ක ඉලක්කයක් ලබා දෙමිනි.

නමුත් ගාලු පිතිකරණ ලැයිස්තුවේ කිසිදු පිතිකරුවෙකුට අද විශාල ඉනිමක් කරා යාමට නොහැකි වීම නිසා ඔවුන්ගේ ප්‍රථම ඉනිම ලකුණු 185ක් තුල නිමාවිය. සැලකිය යුතු තරමේ ලකුණු සංඛ්‍යාවක් හඹා යෑමේදී අනිවාර්ය සාධකයක් වන ලකුණු සම්බන්ධතා නොතිබීම ගාලු ඉනිම බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් බවට පත්විය.

අත්දැකීම් අතින් පරිණත වමත් ආරම්භක පිතිකරු දමිත හුණුකුඹුර පමණක් අද හතරේ පහර 5ක් සමඟින් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය. අනෙක් පිතිකරුවන් අතරින් ලකුණු 20 සීමාව පවා ඉක්මවීමට සමත් වූයේ චලන ද සිල්වා පමණි. ගාලු ක්‍රිකට් සමාජයේ පිතිකරණ බලාපොරොත්තුවක් වන යොවුන් පිතිකරු යශෝධ ලංකා ලකුණු 4කට දැවී යාමද ඔවුන්ගේ පසුබෑම සඳහා බොහෝ සෙයින් හේතු විය. පන්දු යැවීමේදී බොහෝදෙනා අනුමාන කල පරිදිම බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක මලිත් ද සිල්වා ලකුණු 60කට කඩුලු 5ක් දවාලීය. ගාලු ඉනිම බිඳ දැමීමට ඔහුට මනා සහයක් ලබා දුන් ලහිරු සංජය කඩුලු 3යි.

ලකුණු 91ක වාසියක් සමඟින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් දෙවැනි දිනය නිමා වෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 115ක් ලබා සිටියි. බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක මේ වන විට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 38කි. ඒ අනුව මේ වන විට ඔවුන් සිටින්නේ ගාලු ක්‍රිකට් සමාජයේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 206ක් ඉදිරියෙනි. එබැවින් මේ වන විටත් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තමන් සතු කරගෙන ඇති බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් හෙට පූර්ව භාගයේදී සිය ඉනිම අත්හිටුවා පූර්ණ තරග ජයග්‍රහණයක් සඳහා මාන බලනු නිසැකය.

විශේෂයෙන්ම තණතිල්ලේ හැසිරීම හොඳින් දන්නා බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නන් හමුවේ හෙට දිනයේදී ගාලු පිතිකරුවන්ට මෙම තරගය බේරා ගැනීමට හැකි වේවි ද යන්න සැක සහිත කරුණකි. මෑත අතීතයේ දේශීය පිටියේ සාර්ථක වූ යොවුන් දඟ පන්දු යවන්නෙකු වන මලිත් ද සිල්වා හෙට දිනයේදී පන්දු යවන ආකාරය අනුව බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට හිමිවන්නේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයක් ද, පූර්ණ තරග ජයග්‍රහණයක් ද යන්න බොහෝදුරට තීරණය වනු ඇත.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) -සියල්ලන්ම දැවී ලකුණු 276 (පන්දුවාර 100.3): අදීශ නානායක්කාර 78, ලහිරු ජයකොඩි 48, විනෝද් පෙරේරා 46, නිපුන් කරුණානායක 30, රොෂාන් ජයතිස්ස 4/64, සජීව වීරකෝන් 3/85, චලන ද සිල්වා 2/70.

ගාලු ක්‍රිකට් සමාජය (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 185 (පන්දුවාර 54.2): දමිත හුණුකුඹුර 54, චලන ද සිල්වා 32, දිල්හාන් කුරේ 19, මලිත් ද සිල්වා 5/60, ලහිරු සංජය 3/52, විනෝද් පෙරේරා 1/17.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (දෙවන ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 115 (පන්දුවාර 34): නිපුන් කරුණානායක 38*, නිසල් ෆ්‍රැන්සිස්කෝ 17, ශශ්‍රීක පුස්සෙගොල්ල 17, අදීශ නානායක්කාර 15, සජීව වීරකෝන් 2/41, චලන ද සිල්වා 2/34.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට