දඟ පන්දුවේ තර්ජනය හමුවේ අදීශ නානායක්කාර සාර්ථක පිතිකරණයක

1139
SLC Premier Leaague

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලිය දිවයිනේ වෙසෙන දක්ෂ ක්‍රිකට් තරු ජාත්‍යන්තරය දක්වා රැගෙන යාමේ අරමුණින් පැවැත්වෙන්නකි. එහි තවත් තරගයක් අද (02) A කාණ්ඩය නියෝජනය කරමින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සත්කාරකත්වය යටතේ ආරම්භ විය. ඒ ප්‍රතිවාදී ගාලු ක්‍රිකට් සමාජයට එරෙහිවයි.

පසුගිය ලිපි: බදුරලියෙන් වීරයින් දෙදෙනෙකු බිහිවූවත් තරග ජය SSC පිළට

අද උදෑසන තමන්ට හුරුපුරුදු ක්‍රීඩා සමාජ තණතිල්ල මතදී කාසියේ වාසිය දිනාගත් බ්ලූම්ෆීල්ඩ් නායක නිපුන් කරුණානායක ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් වෙතට නතු කරගන්නට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් දෙදෙනාට ප්‍රථම කඩුල්ල වෙනුවෙන් රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි. නමුත් විශ්වාසය තැබිය හැකි මැදපෙළක් සහිත බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය දිනය නිමාවන විට කඩුලු 9කට ලකුණු 266ක් දක්වා ගමන් කිරීමට සමත් විය.

අංක තුන පිතිකරු ලෙසින් පිටියට පිවිසි දකුණත් පිතිකරු ලහිරු ජයකොඩි අද හතරේ පහර 6ක් සමඟින් ලකුණු 48ක් වාර්තා කළේය. ඔහුට අද තම අර්ධ ශතකය අහිමි වූයේ ගාලු ක්‍රිකට් සමාජයේ දඟ පන්දු යවන ක්‍රීඩක සජීව වීරකෝන් යවනු ලැබූ පන්දුවකට උඩ පන්දුවක් ලබා දීම නිසාය. නායක නිපුන් කරුණානායක හතරේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් රැස් කළේය. අද බ්ලූම්ෆීල්ඩ් ඉනිමේ සාර්ථකම පිතිකරුවා බවට පත්වූ අදීශ නානායක්කාර හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 78ක් වාර්තා කිරීමට සමත් විය.

බ්ලූම්ෆීල්ඩ් පිතිකරණ ලැයිස්තුවේ අංක 8 පිතිකරු ලෙස ක්‍රීඩා කරන විනෝද් පෙරේරා බ්ලූම්ෆීල්ඩ් ඉනිමට අමතර වාසියක් ගෙන දෙමින් ලකුණු 46ක් වාර්තා කිරීමට සමත් විය. මේ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටින ඉම්රාන් කාන් ලකුණු 12ක් ලබා සිටින අතර ඔහුගේ සහයක පිතිකරු මලිත් ද සිල්වා පන්දු 9කට මුහුණ දී තවමත් ලකුණු ලබාගෙන නැත. ගාලු ක්‍රිකට් සමාජයට බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සමඟ ප්‍රථම දිනයේ උරෙනුර ගැටෙන්නට අවස්ථාව ලබා දුන් දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක රොෂාන් ජයතිස්ස සහ වමත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සජීව වීරකෝන් කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

හෙට දිනයේදී ගාලු ක්‍රිකට් සමාජයේ පිතිකරුවන්ට ලකුණු 300කට ආසන්න ඉලක්කයක් හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති නිසා දෙපිළේම ක්‍රීඩකයින් අතරේ හෙට දිනයේදී ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තහවුරු කර ගැනීම වෙනුවෙන් කරට කර සටනක් ඇති වීමට ඉඩ තිබේ. එබැවින් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ දඟ පන්දු යවන ක්‍රීඩක මලිත් ද සිල්වාට ගාලු පිතිකරණ බලඇණිය බිඳ හෙලීමේදී වැඩි වගකීමක් හිමිවන අතර යශෝධ ලංකා සහ දමිත හුණුකුඹුර වැනි පිතිකරුවන්ට ගාලු ඉනිම ගොඩ නැංවීමේදී වැඩි කාර්‍යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය (ප්‍රථම ඉනිම) -කඩුලු 9ක් දැවී ලකුණු 266 (පන්දුවාර 96)

අදීශ නානායක්කාර 78, ලහිරු ජයකොඩි 48, විනෝද් පෙරේරා 46, නිපුන් කරුණානායක 30, රොෂාන් ජයතිස්ස 3/55, සජීව වීරකෝන් 3/86, චලන ද සිල්වා 2/68.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට