දිමුත් සහ ධනුෂ්ක ශතක ලබමින් SSC ඉනිම ස්ථාවර කරයි

319
Dimuth

2016/17 දේශීය ක්‍රිකට් තරග වාරයේ A කාණ්ඩය නියෝජනය කරමින් අද (02) ප්‍රිමියර් ලීග් තුන්දින තරග 4ක් ක්‍රියාත්මක විය. එහිදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක සහ අසේල ගුණරත්න ශතක වාර්තා කල අතර පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සමත්කම් දැක්වීය.

පසුගිය ලිපි: සිරිසෝමගේ මැජික් පන්දුව පොලීසිය අසරණ කරයි

SSC සහ ටැමිල් යූනියන් අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේදී ආරම්භ වුනු මෙම තරගයේ ප්‍රථම දිනය නිමා වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සිංහල ක්‍රීඩා සමාජය කඩුලු 5ක් දැවී ලකුණු 375ක් ලබාගෙන ප්‍රබල තත්වයක පසුවෙයි.

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් ටැමිල් යූනියන් කණ්ඩායම මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව සිංහල ක්‍රීඩා සමාජය වෙත පිරිනැමූ අතර SSC කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන දිමුත් කෞෂාල් සුසංයෝගය සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් විය. ඉනිමේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 28ක් ලබා සිටි කෞෂාල් සිල්වා දැවී ගියේ SSC ලකුණු පුවරුව ලකුණු 74ක් ලෙස සටහන් වෙද්දීය.

එතැන් සිට පිටියේ එක්වුනු දිමුත් කරුණාරත්න සහ ධනුෂ්ක ගුණතිලක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 201ක අති දැවැන්ත සබඳතාවක් පැවැත්වූහ. SSC නායක දිමුත් කරුණාරත්න හතරේ පහර 19ක් සමගින් ලකුණු 149ක් වාර්තා කළේය. ධනුෂ්ක ගුණතිලක හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 117යි. SSC මැදපෙළ නියෝජනය කරන චාමර කපුගෙදර අද කිසිදු ලකුණක් වාර්තා කිරීමට පෙර පළමු පන්දුවෙන්ම දැවී ගියේය. මේ වන විට නොදැවී පන්දුවට පහර දෙන චරිත් අසලංක ලකුණු 31ක් ද, දසුන් ශානක ලකුණු 27ක් ද ලබා සිටියි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

සිංහල ක්‍රීඩා සමාජය – කඩුලු 5ක් දැවී ලකුණු 375 (පන්දුවාර 90): දිමුත් කරුණාරත්න 149, ධනුෂ්ක ගුණතිලක 117, චරිත් අසලංක 31*, චාමික කරුණාරත්න 2/79.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කටුනාය‍ක FTZ ක්‍රීඩා පිටියේදී අද ඇරඹුණු මෙම තරගයේදී මුලින් පන්දුවට පහර දුන් හලාවත ක්‍රීඩකයින් සිය මුල් ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 235ක් රැස්කල අතර පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බදුරලිය ක්‍රීඩා සමාජය එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් ලබා සිටියි.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මහේල උඩවත්ත හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 69ක් වාර්තා කළේය. පන්දු යැවීමේදී බදුරලිය ක්‍රීඩා සමාජය වෙනුවෙන් අසංක සිල්වා ලකුණු 102කට කඩුලු 5ක් බිඳ හෙලමින් දක්ෂතා දැක්වීය. තවමත් යොවුන් වියේ පසුවන දකුණත් වේග පන්දු යවන්නෙකු වන නුවන් කරුණාරත්න ලකුණු 35ට කඩුලු තුනයි.

මේ වන විට පිලිතුරු ඉනිම ක්‍රීඩා කරන බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 9ක් අතැතිව හලාවත ප්‍රථම ඉනිමට වඩා ලකුණු 219ක් පිටුපසින් පසුවේ.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 235 (පන්දුවාර 79.3): මහේල උඩවත්ත 69, සචිත්‍ර සේරසිංහ 34, කසුන් විදුර 33, අලංකාර අසංක 5/102, නුවන් කරුණාරත්න 3/35.

බදුරලිය ක්‍රීඩා සමාජය – එක් කඩුල්ලක් දැවී ලකුණු 16 (පන්දුවාර 7)


සැරසන්ස් සහ කොළඹ ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ ක්‍රිකට් සමාජය (CCC) කණ්ඩායම සත්කාරකත්වය දරන මෙම තරගයේ මුලින් පන්දුවට පහර දුන් CCC ක්‍රීඩකයින් ප්‍රථම ඉනිම සඳහා රැස්කළේ ලකුණු 195ක් පමණි. ඒ වෙනුවෙන් සචිත් පතිරණ සහ වනිඳු හසරංග අර්ධ ශතක වලින් ආධාර විය. අද දිනයේදී තේරීම් කමිටුවේ අවධානය නැවත තමන් වෙතට හරවාගත් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත CCC ඉනිමේ කඩුලු 6ක් ලකුණු 59ක් තුල දවාලීය.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සැරසන්ස් පිතිකරුවන් ප්‍රථම දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටියි. නොදැවී පන්දුවට පහර දෙන ඉරෝෂ් සමරසූරිය හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 48ක් රැස් කරගෙන ශතකය පෙනෙන මානයේ පසුවෙයි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 195 (පන්දුවාර 52.2): සචිත් පතිරණ 59, වනිඳු හසරංග 52, කුසල් මෙන්ඩිස් 24, කසුන් රාජිත 6/59, සුරාජ් රන්දිව් 2/53.

සැරසන්ස් ක්‍රීඩා සමාජය – කඩුලු 3ක් දැවී ලකුණු 101 (පන්දුවාර 27): ඉරෝෂ් සමරසූරිය 48*.


යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ BRC කණ්ඩායම අතර තරගය

අද පනාගොඩ දී ඇරඹුණු මෙම තරගය ප්‍රථම දිනය සඳහා තාවකාලිකව නතර කරන විට මුල් ඉනිම ක්‍රීඩා කරන යුධ හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 304ක් ලබා සිටියි. යුධ හමුදා කණ්ඩායම වෙනුවෙන් අනගි පිතිකරණයක යෙදෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නවතම සොයා ගැනීම වන අසේල ගුණරත්න මේ වන විට හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 146ක් වාර්තා කිරීමට සමත් විය. පන්දු යැවීමේදී විකුම් බණ්ඩාර ලකුණු 67ට කඩුලු 4ක් බිඳ හෙලීය.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී ලකුණු 304 (පන්දුවාර 92): අසේල ගුණරත්න 146*, ලක්ෂික මධුෂාන් 67, කසුන් ද සිල්වා 32, විකුම් බණ්ඩාර 4/46, දිනුක් හෙට්ටිආරච්චි 3/82.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට