සිරිසෝමගේ මැජික් පන්දුව පොලීසිය අසරණ කරයි

1516
SLC Premier League

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2016/17 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ ආරම්භ කරමින් තෙදින තරඟ කිහිපයක්ම අද (02) ආරම්භ විය. මෙම කාණ්ඩය යටතේ කණ්ඩායම් 10ක් එකිනෙකා සමඟින් තෙදින තරඟ ලෙස ඉදිරි සති තුල දී තරඟ වැදීමට නියමිතව ඇත. අද තරගවලදී ගයාන් සිරිසෝම කැපීපෙනෙන දස්කම් දක්වමින් ඉණිමක් තුල කඩුලු 9ක් දවාගන්නා ලදි.

පසුගිය ලිපි: සමාරම්භක තරගයෙන්ම කෝල්ට්ස් පිළට දැවැන්ත ජයක්

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමට නාවික ක්‍රීඩා සමාජයට ඇරයුම් කරන ලදි.

පළමුව පිටියට පැමිණි නාවික හමුදා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ලෙස පිතිකරණයේ නිරත වීමට බුද්ධික හසරංග සමත් වූ අතර, ඔහු ලකුණු 72ක් ලබා ගන්නා ලදි. ඔහු සමඟින් එක්ව ලකුණු පුවරුව සවිමත් කල කුසල් එදිරිසූරිය ලකුණු 61ක් ලබා ගනිමින් දස්කම් දැක්විය.

අනුරුද්ධ රාජපක්ෂ හා හිරාත් මාපටුන කුරුණෑගල තරුණ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 3 බැගින් දවාගන්නා ලදි.

අනතුරුව තම පළමු ඉණිම දියත් කල කුරුණෑගල තරුණ කණ්ඩායම දිනය අවසානයේ දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 83ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණය ලබා ගැනීම සඳහා ධනුෂ්ක ධර්මසිරි නොදැවී ලකුණු 44*ක් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 297/10 (71): බුද්ධික හසරංග 72, කුසල් එදිරිසූරිය 61, සමීර සඳමාල් 48, අශාන් රණසිංහ 46*, අනුරුද්ධ රාජපක්ෂ 3/42, හිරාත් මාපටුන 3/63

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 83/01 (17): ධනුෂ්ක ධර්මසිරි 44*

කුරුණෑගල තරුණ සමාජය, නාවික හමුදා කණ්ඩායමේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු  214ක් පසුපසින් පසුවෙයි.


පානදුර ක්‍රීඩා සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරඟය

තරඟය පානදුර දී ආරම්භ වූ අතර, කාසියේ වාසිය ජයග්‍රහණය කල පොලිස් ක්‍රීඩා සමාජය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.  

පොලිස් ක්‍රීඩා සමාජයේ ඇරයුමින් පළමුව පිටියට පැමිණි මිශේන් සිල්වා, පානදුර කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් ලකුණු 60ක් වාර්තා කරමින් වැඩිම ලකුණු ලාභියා වූ අතර, චරික බුද්ධික නොදැවී ලකුණු 44*ක් ලබාගෙන තම සඟයා සමඟින් පොලිස් ක්‍රීඩා සමාජයේ පන්දු යවන්නන්ට එදිරිව තම කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 263ක් දක්වා ඔසවා තබන ලදී.

පන්දු යැවීමේ දී පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් මයේශ් ප්‍රියදර්ශන හා සුවන්ජි මදනායක කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි.

දෙවනුව පිටියට පැමිණි පොලිස් ක්‍රීඩා සමාජයේ පිතිකරුවන් අන්දමන්ද කරමින් ක්‍රියාත්මක වූ ගයාන් සිරිසෝම ඔවුන්ගේ කඩුලු 9ක් ලකුණු 38ක් තුල දවාගනිමින් දස්කම් දැක්වූ අතර, අවසානයේ දී පොලිස් කණ්ඩායම නොසිතූ පරිදි ලකුණු 97ක් තුල සියලු දෙනා දැවීයන ලදි.

පානදුර ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 263/10 (59.2): මි‍ශේන් සිල්වා 60, චරික බුද්ධික 44*, නිසල් රන්දික 37, චාමර සිල්වා 29, මයේෂ් ප්‍රියදර්ශන 3/62, සුවන්ජි මදනායක 3/76

පොලිස් ක්‍රීඩා සමාජ පළමු ඉණිම  – 97/10 (27.3): ගයාන් සිරිසෝම 9/38

පානදුර ක්‍රීඩා සමාජය පොලිස් ක්‍රීඩා සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 166ක් පෙරමුණේ පසුවෙයි.


ශ්‍රී ලංකා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

තරඟය වැලිසර ක්‍රීඩා පිටියේදී ආරම්භවූ අතර කාසියේ වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ගුවන් හමුදා කණ්ඩායමේ පළමු ඉණිම වෙනුවෙන් උදයවංශ පරාක්‍රම වේගවත් හා මනරම් පහර කිහිපයක්ම එල්ල කරමින් ලකුණු 76ක් ලබා ගන්නා ලදි. නමුත් අනෙකුත් ක්‍රීඩකයින් දස දෙනා හටම වරාය අධිකාරියේ පන්දු හමුවේ ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 94ක් පමණි.

වරාය අධිකාරි කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ යොහාන් ද සිල්වා ලකුණු 20ක් තුල කඩුලු 3ක් දවාගත් අතර, චමින්ද බණ්ඩාර චාමිකර එදිරිසිංහ හා අකලංක ගනේගම කඩුලු 2ක බැගින් දවාගන්නා ලදි.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිම දියත් කල වරාය අධිකාරි කණ්ඩායම සුපිරි පිතිකරණ සබඳතාවයන් කිහිපයක්ම පළමු දිනය තුළ පවත්වාගෙන යමින් දිනය අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 123ක් ලබා ගන්නට සමත් විය. එහිදී ඉශාන් රංගන ලකුණු 43ක් ලබා ගත් අතරම, පන්දුවෙන් දස්කම් දැක්වූ යොහාන් ද සිල්වා ලකුණු 32ක් ලබාගෙන තම කණ්ඩායම සවිමත් කරන ලදි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය පළමු ඉණිම  – 172/10 (45.1): උදයවංශ පරාක්‍රම 76, යොහාන් ද සිල්වා 3/20, චමින්ද බණ්ඩාර 2/37, චාමිකර එදිරිසිංහ 2/37, අකලංක ගනේගම 2/39

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – 123/03 (42): ඉශාන් රංගන 43, යොහාන් ද සිල්වා 32, හශාන් ගුණතිලක 24

ශ්‍රී ලංකා වරාය අධිකාරි කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 49ක් පසුපසින් පසුවෙයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට