දේශීය ක්‍රිකට් පිටිය උණුසුම් කරන ප්‍රිමියර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ පැවති තවත් තරග රැසක් අද (11) නිමාවට පත්විය. ඒ අතුරින් රාගම ක්‍රිකට් සමාජය පූර්ණ තරග ජයක් හිමි කරගත් අතර බ්ලූම්ෆීල්ඩ්, සැරසන්ස්, CCC සහ NCC ක්‍රීඩා සමාජ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළහ.

පසුගිය ලිපි: රොෂාන් සහ සජීවගේ දඟ පන්වෙන් ගාල්ලට මුල් ඉනිමක ජයක්

මුවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය

අද පැවති තරග අතුරින් පූර්ණ තරග ජයග්‍රහණයක් ලබා ගැනීමට තරම් වාසනාවන්ත වූයේ රාගම ක්‍රිකට් සමාජය පමණි. රාගම ප්‍රථම ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කරමින් තරග ජයග්‍රහණය සඳහා සවිමත් අඩිතාලමක් දැමූ උදාර ජයසුන්දර මෙම ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

ප්‍රථම ඉනිම ක්‍රීඩා කල මුවර්ස් ක්‍රීඩකයින් සියල්ලන්ම දැවී ලකුණු 217ක් රැස්කල අතර රාගම පිතිකරුවන් ඊට ප්‍රබල ප්‍රතිචාරක් දැක්වූයේ සිය ප්‍රථම ඉනිම සඳහා ලකුණු 361ක් ලකුණු පුවරුවේ සටහන් කරමිනි. ඒ වෙනුවෙන් උදාර ජයසුන්දර හතරේ පහර 15ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 112ක් රැස් කරමින් වැඩි දායකත්වයක් දක්වන ලදී. රොෂේන් සිල්වා ලකුණු 79යි.

දෙවැනි ඉනිම ක්‍රීඩා කල මුවර්ස් පිතිකරුවන්ව ලකුණු 181කට සීමා කිරීමට රාගම පන්දු යවන්නෝ සමත් වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක සහන් නානායක්කාර ලකුණු 55කට කඩුලු 6ක් බිඳ හෙලීය. තරග ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 38 ඉලක්කය පන්දුවාර 6ක් තුලදී කිසිවෙකු නොදැවී රැස් කරගත් රාගම ක්‍රීඩකයින් මෙම තරගයෙන් කඩුලු 10ක ජයක් ලබා ගත්හ.

මුවර්ස් ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 217 (පන්දුවාර 55.2): ප්‍රිමෝශ් පෙරේරා 64, රුවිඳු ගුණසේකර 27, ශානුක දුලාජ් 36, අමිල අෆොන්සු 4/40, සහන් නානායක්කාර 3/52, ඉශාර  අමරසිංහ 2/39.

රාගම ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 361 (පන්දුවාර 86.2): උදාර ජයසුන්දර 112, රොෂේන් සිල්වා 79, ලහිරු මිලන්ත 63, සචිත්‍ර පෙරේරා 5/119.

මුවර්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 181 (පන්දුවාර 57.3): රුවිඳු ගුණසේකර 57, තරිඳු මෙන්ඩිස් 39, සහන් නානායක්කාර 6/55, අමිල අපොන්සු 3/44

රාගම ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 40 (පන්දුවාර 5.5): ලහිරු මිලන්ත 31*.


බදුරලිය ක්‍රීඩා සමාජය සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය

ඉතාම උණුසුම් ලෙස ගලාගෙන ගිය මෙම තරගයේ පූර්ණ තරග ජයග්‍රහණය සඳහා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයින්ට ලකුණු 13ක් ද, බදුරලිය ක්‍රීඩකයින්ට කඩුලු 4ක් ද අවශ්‍යව තිබියදී දිනය සඳහා වූ පන්දුවාර සංඛ්‍යාව නිමාවට පත්විය. කෙසේ වෙතත් මුල් ඉනිමේ ජයග්‍රහණය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සතුවිය.

මුලින් පන්දුවට පහර දුන් බදුරලිය පිතිකරුවන් ලකුණු 156ක් තුල දැවී ගිය අතර මලිත් මහේල කඩුලු 5ක් දවාලමින් වැඩි දස්කම් දැක්වීය. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පිලිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස්කල ලකුණු සංඛ්‍යාව 233කි. ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය තම කණ්ඩායමට ලබා දීමට කැපවූ නිපුන් කරුණානායක හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 108ක් රැස් කළේය.

දෙවැනි ඉනිම වෙනුවෙන් සාර්ථක පිතිකරණයක යෙදුනු බදුරලිය ක්‍රිකට් සමාජය කඩුලු 7කට ලකුණු 337ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය. ඒ අනුව ලකුණු 261ක ඉලක්කයක් හඹා ගිය බ්ලූම්ෆීල්ඩ් පිතිකරුවන් තරගය නිමාවට පත් වෙද්දී කඩුලු 6ක් දැවී ලකුණු 248ක් ලබා සිටියහ.

බදුරලිය ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 156 (පන්දුවාර 51): ශෙහාන් ප්‍රනාන්දු 46, විශ්ව විජේරත්න 47, සචින් හේවාවසම් 26, මලිත් මහේල 5/41, ටනීශ වීරකෝන් 3/24.

බ්ලූම්ෆීල්ඩ් – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.1): නිපුන් කරුණානායක 108, අදීශ නානායක්කාර 79, අසංක සිල්වා 4/50, දුවිඳු තිලකරත්න 3/39.

බදුරලිය ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 337 (පන්දුවාර 71.5): ශෙහාන් ප්‍රනාන්දු 86, නදීර නාවෙල 71, සචින් හේවාවසම් 48, මලිත් මහේල 4/112, නිපුන් කරුණානායක 3/67.

බ්ලූම්ෆීල්ඩ් (දෙවැනි ඉනිම) – කඩුලු 6ක් දැවී ලකුණු 248 (පන්දුවාර 67.3): නිසල් ෆ්‍රැන්සිස්කෝ 88, අසංක සිල්වා 4/91.


සැරසන්ස් ක්‍රීඩා සමාජය සහ BRC අතර තරගය

සැරසන්ස් ක්‍රීඩා සමාජය මුල් ඉනිමේ ජයග්‍රහණය හිමි කරගත් මෙම තරගය BRC පිටියේදී පැවැත්විණි. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් සැරසන්ස් පිතිකරුවන් ලකුණු 302ක් රැස්කල අතර BRC ක්‍රීඩකයින්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 197ක් පමණි. එහිදී කසුන් රාජිත කඩුලු 5ක් බිඳ හෙලමින් දස්කම් දැක්වීය.

දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි සැරසන්ස් ක්‍රීඩකයින් ලකුණු 212කට සියලුම කඩුලු අහිමි කර ගත්තේය. නමුත් සැරසන්ස් ඉනිම ඉතා අඩු ලකුණු ගණනකට බිඳ වැටෙන්නට ඉඩ නොදුන් ඉරෝෂ් සමරසූරිය හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 110ක් රැස් කළේය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කල BRC කණ්ඩායම තරගය නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 183ක් ලබා සිටියහ. දර්ශනීය පිති හරඹයක නිරත වුනු ටී. එම්. සම්පත් නොදැවී ලකුණු 100ක් වාර්තා කළේය. ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 4කින් වර්ණවත් විය.

සැරසන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 302 (පන්දුවාර 79.5): ඉරෝෂ් සමරසූරිය 72, උමේෂ් කරුණාරත්න 84, දෙනුවන් රාජකරුණා 69, චතුර රන්දුනු 28, දිනුක හෙට්ටිආරච්චි 5/96, ඇන්ඩි සොලමන් 2/25, ටී. එම්. සම්පත් 3/64.

BRC – සියල්ලන්ම දැවී ලකුණු 197 (පන්දුවාර 74.3): දේශාන් ඩයස් 32, හශේන් රාමනායක 31, කසුන් රාජිත 5/72, සුරාජ් රන්දිව් 4/58.

සැරසන්ස් ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 212 (පන්දුවාර 62.4): ඉරෝෂ් සමරසූරිය 110, හශේන් රාමනායක 3/35, රුමේෂ් බුද්ධික 3/50.

BRC (දෙවන ඉනිම) – කඩුලු 3ක් දැවී ලකුණු 183 (පන්දුවාර 32): ටී. එම්. සම්පත් 100*, රුමේෂ් බුද්ධික 44, සුරාජ් රන්දිව් 2/57.


කොළඹ ක්‍රිකට් සමාජය සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය

මෙම තරගයේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය ලකුණු 2කින් කොළඹ ක්‍රිකට් සමාජය හිමිකර ගත්තේය. මුලින් පන්දුවට පහර දුන් CCC ක්‍රීඩකයින් ප්‍රථම ඉනිම වෙනුවෙන් රැස් කළේ ලකුණු 218ක් පමණි. නමුත් එම ලකුණු සංඛ්‍යාව සාර්ථකව ආරක්ෂා කළ ඔවුන් යුධ හමුදා පිතිකරුවන්ව ලකුණු 216කට සීමා කිරීමට සමත් විය. ඒ සඳහා තම දඟ පන්දුවෙන් උපරිමය ලබාදුන් ලක්ෂාන් සඳකැන් සහ සචිත් පතිරණ කඩුලු 7ක් තමන් අතරේ බෙදා ගත්හ.

CCC පිතිකරුවන් සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 309ක් රැස්කල අතර ඒ වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත ලකුණු 116කින් ආධාර විය. ඔහුගේ ඉනිම හතරේ පහර 14ක් සහ එක් හයේ පහරකින් පොහොසත් විය. ලකුණු 312ක ඉලක්කයක් හඹා ගිය යුධ හමුදා පිතිකරුවන් තරගය නිමා වෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා සිටියහ. දකුණු අප්‍රිකා ටෙස්ට් සංචිතයෙන් නොසිතූ පරිදි ඉවතට විසිවුණු අසේල ගුණරත්න අද නොදැවී ලකුණු 93ක් වාර්තා කළේය. ඒ හතරේ පහර 11ක් ඊට අන්තර්ගත කරමිනි.

කොළඹ ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 218 (පන්දුවාර 56.3): සචිත් පතිරණ 54, රොන් චන්ද්‍රගුප්ත 26, අශාන් ප්‍රියන්ජන් 32, ලහිරු මධුශංක 50*, අසේල ගුණරත්න 3/27, දුශාන් විමුක්ති 3/49, ලක්ෂාන් මධුශංක 2/34, විරාජ් පුෂ්පකුමාර 2/70.

යුධ හමුදා ක්‍රීඩා සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 216 (පන්දුවාර 82.1): දුශාන් විමුක්ති 78, කසුන් ද සිල්වා 31, ලක්ෂාන් සඳකැන් 4/71, සචිත් පතිරණ 3/70.

කොළඹ ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 309 (පන්දුවාර 74): රොන් චන්ද්‍රගුප්ත 116, අශාන් ප්‍රියන්ජන් 78, විරාජ් පුෂ්පකුමාර 3/85.

යුධ හමුදා ක්‍රීඩා සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 7ක් දැවී ලකුණු 227 (පන්දුවාර 60): අසේල ගුණරත්න 93*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 43, සචිත් පතිරණ 5/78.


හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය සහ NCC අතර තරගය

හලාවත මේරියන්ස් කණ්ඩායම සමඟ පැවති තෙදින ටෙස්ට් තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබන්නට ප්‍රබල NCC පිළ අද සමත් විය. ඔවුන්ට පූර්ණ තරග ජයක් ලබා ගැනීමේ අවස්ථාව අද ගිලිහී ගියේ එක් කඩුල්ලකිනි. මුලින් පන්දුවට පහර දුන් NCC පිතිකරුවන් ලකුණු 385ක් රැස්කල අතර ඒ සඳහා සඳුන් වීරක්කොඩිගේ ශතකය මහෝපකාරී විය. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ හලාවත ක්‍රීඩකයින් රැස් කළේ ලකුණු 285ක් පමණි.

දෙවැනි ඉනිම වෙනුවෙන් NCC ක්‍රීඩකයින් ලකුණු 199ක් රැස්කල අතර ලකුණු 300ක ඉලක්කයක් හඹා ගිය හලාවත ක්‍රීඩකයින් දිනය නිමාවන විට කඩුලු 9ක් දැවී ලකුණු 193ක් ලබා සිටියහ. NCC පිළට පූර්ණ තරග ජය ලබා ගැනීමට ඉඩ නොදුන් මධූක ලියනපතිරණගේ අංක 9 පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 33ක් රැස් කළේය.

NCC – සියල්ලන්ම දැවී ලකුණු 385 (පන්දුවාර 88.1): නිරෝෂන් දික්වැල්ල 51, සඳුන් වීරක්කොඩි 113, පවන් වික්‍රමසිංහ 46, ඇන්ජෙලෝ පෙරේරා 45, නිමේෂ ගුණසිංහ 64, ෆර්වීස් මහරූෆ් 30, මලින්ද පුෂ්පකුමාර 5/74, මධූක ලියනපතිරණගේ 3/88.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය – සියල්ලන්ම දැවී ලකුණු 285 (පන්දුවාර 68.3): මහේල උඩවත්ත 89, විදුර අධිකාරි 64, තරිඳු කෞෂාල් 6/78, චතුරංග ද සිල්වා 3/104.

NCC (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 199 (පන්දුවාර 50.4): චතුරංග ද සිල්වා 47, ඇන්ජෙලෝ පෙරේරා 38, මධූක ලියනපතිරණගේ 4/54, මලින්ද පුෂ්පකුමාර 4/59.

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය (දෙවැනි ඉනිම) – කඩුලු 9ක් දැවී ලකුණු 193 (පන්දුවාර 56): අරෝෂ් ජනෝද 40, මධූක ලියනපතිරණගේ 33, තරිඳු කෞෂාල් 5/53.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට