ප්‍රබල කණ්ඩායම් දෙකකට අනපේක්ෂිත පරාජයන්

අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2023

1703

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2023 අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපයක් මේ දිනවල ඉතාමත් උණුසුම්ව ක්‍රියාත්මක වෙනවා.

අද (5) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති තවත් තරග දෙකක දී ACE කැපිටල් සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජ කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ පිළිවෙළින් SSC සහ බදුරලිය කණ්ඩායම් පරාජය වීම කැපී පෙනුණා.

SSC සහ Ace කැපිටල් අතර තරගයේ කාසියේ වාසිය දිනා ගත් SSC ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ACE කැපිටල් කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 89ක් තුල දවාගෙන ඔවුන්ගේ ලකුණු පුවරුව අඩපණ කිරීමට වමතින් වේගපන්දු යවන කලන පෙරේරා ඇතුළු SSC පන්දු යවන්නන් සමත් වුනා.

කෙසේ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 42ක් තුල ලකුණු 62ක ස්ථාවර පසුපෙළ සබඳතාවයක් ගොඩනැංවූ සකුණ ලියනගේ සහ වනුජ කුමාර Ace කැපිටල් ලකුණු සටහන සාර්ථක අවසානයකට රැගෙන යාමට අවශ්‍ය පසුබිම සකස් කළා.

අවසානයේ දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් SSC කණ්ඩායමට අභියෝගයක් වුනු සකුණ ලියනගේ පන්දු 39ක් තුල 4 පහර 3ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් නොදැවී වේගවත් ලකුණු 67*ක් ලබා ගත්තා. වනුජ කුමාර ලකුණු 21යි. පන්දු යැවීමේ දී කලන පෙරේරා කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කිරීම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු සහ ක්‍රිෂාන් සංජුල ප්‍රබල SSC වෙනුවෙන් සාර්ථක අර්ධ ශතක ආරම්භයක් ලබා ගත්තේ, ජයග්‍රහණයට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරමින්. ලකුණු 26ක් ලබාගෙන සිටි කඩුලු රකින පිතිකරු සංජුල දැවී ගිය පසුව පිටියේ එක්වුණු අවිශ්ක සහ ශෙවෝන් ඩැනියල් පිළිවෙළින් ලකුණු 41ක් සහ ලකුණු 40ක් ලබාගෙන SSC ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වුනා.

අවසානයේ දී ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 67ක් තුල දවා ගන්නට නායක රොහාන් ජයතිස්ස ඇතුළු Ace කැපිටල් ක්‍රීඩකයින් සමත් වුනු අතර දුවද්දී දැවී යාම් තුනක් ද සටහන් වීම SSC ලකුණු පුවරුව ගොඩනැංවීමේ දී විශාල බාධාවක් වුනා. අවසානයේ දී Ace කැපිටල් ඔවුන් මුහුණ දුන් තරග 3ම ජයගෙන අපරාජිතව දැනට C කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන සිටිනවා.

දිනයේ පැවති අනෙක් තරගයෙන් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හමුවේ බදුරලිය කණ්ඩායමට කඩුලු 7කින් පරාජය වීමට සිදු වුනා. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මේ තරගයේ ඉනිමක් පන්දුවාර 11කට සීමා වුනා.

එහි දී බදුරලිය ලබා ගත් ලකුණු 87 පන්දුවාර 9කුත් පන්දු 2ක් තුල හඹා යන්නට කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය සමත් වුනා. එහි දී කුරුණෑගල වෙනුවෙන් නවීන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 25* සහ කඩුලු 2ක් දවාගෙන කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූවා. එය මෙවර තරග වාරය තුල කුරුණෑගල කණ්ඩායම ලබා ගත් පළමු ජයග්‍රහණයයි.

දැනට තරගාවලියේ A කාණ්ඩයේ තරග සියල්ලම අවසන් වී තිබෙන අතර එහි පළමු ස්ථානය දිනා ගත් NCC මේ වන විටත්, අවසන් පූර්ව වටයේ අසුන් වෙන්කරගෙන අවසන්.

එසේම අනෙක් කාණ්ඩ තුනේම ප්‍රථම ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් තුන හෙට (5) දිනය තුල තීරණය වීමට නියමිත අතර, B කාණ්ඩයෙන් කෝල්ට්ස්, සෙබස්තියනයිට්ස්, බ්ලූම්ෆීල්ඩ් ද, C කාණ්ඩයෙන්, Ace කැපිටල් සහ ටැමිල් යූනියන් ද, D කාණ්ඩයෙන් Moors, CCC, BRC ද අවසන් පූර්ව වටයේ ස්ථාන දිනා ගැනීමට ප්‍රබල සටනක නිරත වෙනවා.

ලකුණු සාරාංශයන්,

SSC සහ ACE කැපිටල්

Ace කැපිටල් – 164/8 (20): සකුණ ලියනගේ 67*, වනුජ කුමාර 21, කලන පෙරේරා 3/25

SSC – 151 (19.1): අවිශ්ක ප්‍රනාන්දු 41, ශෙවෝන් ඩැනියල් 40, රොහාන් ජයතිස්ස 3/24

Ace කැපිටල් කණ්ඩායමට ලකුණු 13ක ජයක්

බදුරලිය සහ කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය

බදුරලිය – 87/7 (11): යෙසිත් රූපසිංහ 28, රොහාන් සංජය 26*, නවීන් ප්‍රනාන්දු 2/17

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – 90/3 (9.2): තරින්ද විජේසිංහ 28, නවීන් ප්‍රනාන්දු 25*

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයක්

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<