කොළඹ උතුර අපරාජිතව ඉදිරියට; ගාල්ල මංගල ජය ලබයි

අවුරුදු 15න් පහළ ‘ප්‍රීමා කුසලාන’ ශ්‍රී ලංකා යූත් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

198

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2022 වයස අවුරුදු 15න් පහළ ප්‍රීමා ශ්‍රී ලංකා බාලක ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකක් අද (24) කොළඹ දී සහ රත්මලානේ දී ක්‍රියාත්මක වුනා.

තරගාවලියේ තෙවැනි දිනය වූ අද දිනයේ පැවති තරග දෙකේ දී කොළඹ උතුර සහ ගාල්ල කණ්ඩායම් හමුවේ කොළඹ දකුණ සහ දඹුල්ල කණ්ඩායම් පරාජයට පත් වුනා.

මේ තරගාවලියේ තෙවැනි තරග සඳහා ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම තරග දෙකක් පරාජයට පත්වීමෙන් පසුව අද සිය මංගල ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වුනා.

රත්මලාන ජනසතු සේවා ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ දී ගාල්ල හමුවේ කඩුලු 7කින් පරාජයට පත්වුණේ දඹුල්ල කණ්ඩායමයි. ඒ අනුව දඹුල්ල මේ දක්වා තරග වැදුණු තරග දෙකෙන්ම පරාජයට පත්වීමට සිදු වුනා.

දඹුල්ල සියල්ලන්ම දැවී ලබා ගත් ලකුණු 94 ඉලක්කය නායක විරාන් චමුදිත ඇතුළු ගාල්ල ක්‍රීඩකයින් පන්දුවාර 23කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගත්තා. එහි දී පන්දු යැවීමෙන් කඩුලු 2ක් දවා ගත් විරාන් පිතිකරණයේ දී නොදැවී ලකුණු 44*ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

දිනයේ වාර්තා වුනු හොඳම පන්දු යැවීමේ දස්කම දැක්වූ සමිරු ගිම්හාන් ගාල්ල වෙනුවෙන් කඩුලු 5ක් දවා ගත්තා. රිසිනු ගීනුක නොදැවී ලකුණු 36*ක් ලබා ගත් අතර ඔහු සමඟ එක්වූ විරාන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 86*ක සබඳතාවයක් ගොඩනංවමින් ගාල්ලේ ජය තහවුරු කළා.

කොළඹ උතුර සහ කොළඹ දකුණ යන අපරාජිත කණ්ඩායම් දෙක අතර පැවති තීරණාත්මක තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගන්නට කොළඹ උතුර සමත් වුනා.

වෙළඳසේවා ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණ වෙනුවෙන් ලශේන් ප්‍රනාන්දු අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ නමුත්, ඔවුන්ගේ අනෙක් ක්‍රීඩකයින් හට පිතිකරණයෙන් එතරම්ම සාර්ථක වීමට හැකි වුනේ නැහැ.

ඒ නිසාවෙන් ඔවුන්ට සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 101ක් පමණයි. එහි දී කොළඹ දකුණ වෙනුවෙන් නායක කිත්ම සිත්මල් සහ ඔසඳ පමුදිත පිළිවෙළින් කඩුලු 3ක් සහ කඩුලු 2ක් දවා ගත්තා.

සිය පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ දකුණ පන්දුවාර 25කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ශේන් අබේරත්න නොදැවී ලකුණු 28*ක් ලබා ගන්නා විට, නෙතුල එදිරිමාන්න සහ නායක කිත්ම පිළිවෙළින් ලකුණු 26ක් සහ ලකුණු 24ක් ලබා ගත්තා.

ඒ අනුව අපරාජිත කොළඹ උතුර හමුවේ කොළඹ දකුණ පරාජයට පත්වීම නිසා කොළඹ දකුණ කණ්ඩායමේ අපරාජිත බව අහිමිව ගියා.

ගාල්ල සහ දඹුල්ල අතර තරගය – රත්මලාන ජනසතු ක්‍රීඩාංගණය

දඹුල්ල – 94 (38.3) පබසර දිසානායක 25, සමිරු ගිම්හාන් 5/17, විරාන් චමුදිත 2/12

ගාල්ල – 97/2 (23.4): විරාන් චමුදිත 44*, රිසිනු ගීනුක 36*, දමේෂ් මතිශාන් 2/24

ගාල්ල කණ්ඩායමට කඩුලු 8ක ජයක්


කොළඹ දකුණ සහ කොළඹ උතුර අතර තරගය – වෙළඳසේවා ක්‍රීඩාංගණය

කොළඹ දකුණ – 101 (36.5): ලශේන් ප්‍රනාන්දු 52, කිත්ම සිත්මල් 3/06, ඔසඳ පමුදිත 2/06

කොළඹ උතුර – 106/2 (25.5): ශේන් අබේරත්න 28*, නෙතුල එදිරිමාන්න 26, කිත්ම සිත්මල් 24

කොළඹ උතුරට කඩුලු 8ක ජයක්

තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (25) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<