චමින්ද වාස් ශ්‍රී ලංකා වේග පන්දු පුහුණුකරු තනතුරකට

292

හිටපු වේගපන්දු යවන්නෙකු මෙන්ම 2013 -2015  කාල සමයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙසද කටයුතු කළ චමින්ද වාස් යලිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණුකරුවකු ලෙස පත් කර තිබේ. අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මේ බව අනාවරණය කරන ලදී.

පසුගිය ලිපි: මලියදේව බාලකයින් අර්ධ අවසන් පූර්ව වටයට

අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් නව පන්දු රැකීමේ පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් වැඩ භාර ගැනීම පිලිබඳ දැනුවත් කිරීම උදෙසායි. හැම්ප්ශයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් සහ කඩුලු රකින්නකු ලෙසද අත්දැකීම් ඇති නික් පෝතස් තම නව තනතුර පිලිබඳ මෙසේ අදහස් පල කරන ලදී.

”මම මහත් උද්යෝගයෙන් තමයි මේ තනතුර භාර ගන්නේ. මම බොහෝ කාලයක සිට ග්‍රැහැම් ෆෝඩ්ව දන්නවා. ඒ වගේම එංගලන්තයේදී සයිමන් විලිස් (ඉහල දක්ෂතා කළමනාකරු) වත් අඳුනගෙන තියෙනවා. ඔවුන් සමග එක්ව වැඩ කිරීමට ලැබීම මහඟු අවස්තාවක්”

මේ අතර චමින්ද වාස් සම්බන්ධයෙන් අදහස් පල කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා පවසන්නේ ජාතික කණ්ඩායමට පැමිණෙන ක්‍රීඩකයන් සූදානම් කිරීම වාස්ගේ ප්‍රධාන වගකීම වන බවයි. මේ අනුව ශ්‍රී ලංකා 19න් පහළ, සංවර්ධන සහ A කණ්ඩායම් සමගද ඔහුට පුහුණු කටයුතු මෙහෙයවීමට සිදුවනු ඇත. වාස් සැප්තැම්බර් පළමුවැනිදා සිට නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතයි.

ගාලු ටෙස්ට් තරගයෙන් මිලියන 2.9ක ආදායමක්

මෙම මාධ්‍ය සාකච්චාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා නව ප්‍රවේශපත්‍ර නිකුත්  කිරීමේ ක්‍රමවේදය පිළිබඳවද අදහස් පල කරන ලදී. සභාපතිවරයාට අනුව තරගය පැවති දින 3 තුළ ප්‍රවේශපත්‍ර වලින් රුපියල් ලක්ෂ 41ක ආදායමක් ලැබී ඇති අතර එමගින් ලැබී ඇති ශුද්ධ ලාභය ලක්ෂ 29ක්. අවසන් වරට ගාලු ක්‍රීඩාංගනයේ පැවති ටෙස්ට් තරග දෙකේම (ඉන්දියාව සහ පාකිස්තානය සමග) ප්‍රවේශපත්‍ර වලින් ලද ලාභයේ එකතුව රුපියල් දෙලක්ෂ හැට දහසක් පමණක් වන බවත් සභාපතිවරයා පෙන්වා දෙයි.

වැඩි දුරටත් අදහස් දැක්වූ තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නව මූලස්ථානය ශ්‍රී ලංකාවේදී විවෘත කිරීම ලබන 20 වැනිදා සිදු කෙරෙන අතර ආසියානු ක්‍රිකට් කවුන්සිල මහා සභා රැස්වීම 21වනදා සිට මෙරටදී පැවැත්වෙන බවයි.  

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට