කොදෙව්වෝ තරගාවලිය 1-1ක් සේ සම කරයි

Sri Lanka Emerging Team Tour of West Indies

77
Garuka Sanketh - Sahan Kosala

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැති 2 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි  ක්‍රීඩකයෝ (24) සමත් වෙනවා. ඒ සමඟින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-1ක් සේ සම කිරීමට ඔවුන්ට හැකි වෙනවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.

North Sound හී ශ්‍රීමත් Vivian Richards ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් අද (25) උදෑසන අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 290ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 271ක් පමණයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමෙන් වෙනස්කම් 2ක් සිදු කරමිනුයි. ඒ අනුව කඩුලු රැකී සොහාන් ද ලිවේරා වෙනුවට අංජල බණ්ඩාර ද සහ පා දඟ පන්දු යවන දිලුම් සුදීර වෙනුවට මෙලන් හංසක ද නම් කර තිබුණා.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කර තිබුණා. ඒ Jordan Johnson, McKenny Clarke සහ Raneico Smith විවේක ගන්වා Mavendra Dindal, Michael Palmer සහ Jediah Blades කණ්ඩායමට එක් කර ගනිමිනුයි.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම

ධනංජය ලක්ෂාන් (නායක), නිපුන් ධනංජය, ශෙවෝන් ඩැනියෙල්, සහන් කෝසල, අහන් වික්‍රමසිංහ, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), රවිඳු ප්‍රනාන්දු, චමිඳු විජේසිංහ, ට්‍රෙවීන් මැතිව්, මෙලන් හංසක සහ ගරුක සංකේත්.

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම

Teddy Bishop (නායක), Ackeem Auguste, Jewel Andrew, Mavendra Dindal, Carlon Bowen- Tuckett (කඩුලු රකින්නා), Rivaldo Clarke, Joshua Bishop, Nathan Edward, Michael Palmer, Jediah Blades සහ Micah Mckenzie.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි ක්‍රීඩකයෝ තම ඉනිමට හොඳ ආරම්භයක් ලබා ගන්නේ, Ackeem Auguste සහ Jewel Andrew එක් ව ආරම්භ කළ පළමු කඩුල්ලට එක් කළ ලකුණු 50ක් සමඟිනුයි. ඒ සඳහා ඔවුන් පන්දු 62කට මුහුණ දෙනවා.

එහි දී පළමු කඩුල්ල ලෙසින් දැවී යන්නේ Ackeem Auguste. ඔහු දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගන්නවා. අනතුරු ව පිටියට එක් වූ නායක Teddy Bishop, Jewel Andrew සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 53ක් එක් කරනවා.

Jewel Andrew පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 45ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඊට පසුව දැවී ගිය කඩුලු ද්විත්වය සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලබා දෙන්නේ ලකුණු 22ක් පමණයි. ඒ අතර නායක Teddy Bishop ගේ කඩුල්ල ද තිබෙනවා. ඔහු දැවී යන විට පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.

කඩුලු 4ක් දැවී ලකුණු 125ක් ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ 5 වැනි කඩුල්ලට පන්දු 114ක දී ලකුණු 103ක සබඳතාවක් එක් කිරිමට Carlon Bowen- Tuckett සහ Rivaldo Clarke සමත් වෙනවා.

Carlon Bowen- Tuckett පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 50ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර Rivaldo Clarke පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙසින් 8 වැනි කඩුල්ලට දැවී යනවා.

බටහිර ඉන්දීය ඇකඩමි ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 4, ලකුණු 18ක් පමණක් ලබා දෙමින් පන්දු 15ක දී සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වෙනවා.

එහි දී ගරුක සංකේත් ලකුණු 63කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන අතර මෙලන් හංසක සහ ධනංජය ලක්ෂාන් අතරේ කඩුලු ද්විත්වය බැගින් බෙදී යනවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම් ඉනිමේ පළමු කඩුලු 6 දී ලකුණු 200 සීමා ව ඉක්මවා යෑමට සමත් වෙනවා. එහි ආරම්භය ලබා ගන්නේ නිපුන් ධනංජය සහ ශෙවෝන් ඩැනියෙල් විසින්. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 39ක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටි ශෙවෝන් ඩැනියෙල් ගේ දැවී යෑමත් සමඟිනුයි. අනතුරු ව නායක ධනංජය ලක්ෂාන් පිටියට ආ විගසින් නිපුන් ධනංජය ද තම ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.

තෙවැනි කඩුල්ල ලෙසින් ධනංජය ලක්ෂාන් දැවී යන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා සිටියා.

පෙර තරගයේ අර්ධ ශතකලාභී අහන් වික්‍රමසිංහ ලකුණු 5කට දැවී ගිය පසු, 4 වැනි කඩුල්ල සඳහා පන්දු 84ක දී ලකුණු 77ක් එක් කිරීමට සහන් කෝසල සහ අංජල බණ්ඩාර සමත් වෙනවා. අංජල බණ්ඩාර පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22කට දැවී යද්දී එම කඩුල්ලේ සබඳතාව ද බිඳී ගියා.

සහන් කෝසල ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම කඩුලුලාභියා වෙමින් පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 75ක් ලබා සිටිය දී 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම දැක් වුණේ කඩුලු 6ක් දැවී ලකුණු 211ක් ලෙසයි.

ඔහුගේ දැවී යෑමත් සමඟින් ලකුණු 3ක් බැගින් ඉනිමට එක් වෙද්දී රවිඳු ප්‍රනාන්දු පන්දු 27කින් හතරේ පහර 3ක් සමඟින් එක් කළ ලකුණු 25කට ද සහ චමිඳු වික්‍රමසිංහ පන්දු 8කට එක් කළ ලකුණු 2ක් ද සමඟින් ඉනිම් හැර යනවා.

අනතුරු ව ට්‍රෙවීන් මැතිව් සහ මෙලන් හංසක එක් ව 9 වැනි කඩුල්ලට පන්දු 43ක දී ලකුණු 42ක් එක් කරමින් සිටිය දී මෙලන් හංසක නොදැවුණ ක්‍රීඩකයෙක් ලෙසින් පිටියෙන් ඉවත් වෙනවා. ඒ ඔහුගේ උරහිසට ඉහළින් පන්දුව වැදීම හේතුවෙනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.

අනතුරු ව ට්‍රෙවින් මැතිව් පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25කට දැවී ගිය අතර මෙලන් හංසක වෙනුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දිලුම් සුදීරට හිමි වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල ලෙසින් ගරුක සංකේත් ලකුණු 3කට දැවී යද්දී දිලුම් සුදීරගේ ඉනිම නොදැවුණ ලකුණු 2ක් බවට පත් ව තිබුණා.

තවත් පන්දු 10ක් ඉතිරි ව තිබිය දී ශ්‍රී ලංකා ඉනිම අවසන් කරද්දී පා දඟ පන්දු යවන Micah Mckenzie ලකුණු 70කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොදම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Joshua Bishop සහ Nathan Edward කඩුලු ද්විත්වය බැගින් ද Rivaldo Clark සහ Jediah Blades කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – කඩුලු 9ක් දැවී 290 (50.0) Jewel Andrew 45, Teddy Bishop 34, Carlon Bowen- Tuckett 50, Rivaldo Clarke 74, Joshua Bishop 24, ධනංජය ලක්ෂාන් 2/53, මෙලන් හංසක 2/52, ගරුක සංකේත් 4/63

 

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 271 (48.2) ශෙවෝන් ඩැනියෙල් 28, ධනංජය ලක්ෂාන් 30, සහන් කෝසල 75, අංජල බණ්ඩාර 22, රවිඳු ප්‍රනාන්දු 25, ට්‍රෙවින් මැතිව් 25, Nathan Edward 2/48, Joshua Bishop 2/44, Micah Mckenzie 3/70

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායමට ලකුණු 19ක ජයක්.

දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් එක්දින තරගය මේ මස 26 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<