අහන් සහ නිපුන් පළමු ජයග්‍රහණයට මඟ පෙන්වයි

Sri Lanka Emerging Team Tour of West Indies

83

සංචාරක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමි කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට (21) ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත් වෙනවා.  

 මෙම ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවන් බවට පත් වීමට අහන් වික්‍රමසිංහ සහ නිපුන් ධනංජය සමත් වෙන අතර අහන් වික්‍රමසිංහ මෙම තරගාවලියේ පළමු ශතකලාභියා ලෙසින් තම ඉනිම අවසන් කරන අතර නිපුන් ධනංජය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගත් පළමු අර්ධ ශතකලාභියා බවට පත් වෙනවා.  

North Sound හී ශ්‍රීමත් Vivian Richards ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් අද (22) උදෑසන අවසන් වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය ඇකඩමි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 237ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 238ක් ලබා ගන්නේ තවත් පන්දු 62ක් ද ඉතිරි කර ගනිමිනුයි.  

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම 

ධනංජය ලක්ෂාන් (නායක), නිපුන් ධනංජය, ශෙවෝන් ඩැනියෙල්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), සහන් කෝසල, අහන් වික්‍රමසිංහ, රවිඳු ප්‍රනාන්දු, ට්‍රෙවීන් මැතිව්, ගරුක සංකේත්, චමිඳු විජේසිංහ සහ දිලුම් සුදීර.  

 

බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම 

Teddy Bishop (නායක), Ackeem Auguste, Jewel Andrew, Jordan Johnson, Carlon Bowen- Tuckett (කඩුලු රකින්නා), Rivaldo Clarke, Joshua Bishop, Nathan Edward, McKenny Clarke, Raneico Smith සහ Micah Mckenzie  

පළමුවෙන් පන්දුවට පහර දීමට පැමිණි කොදෙව් ඉනිමේ ලකුණු පුවරුව පිතිකරුවන් සිව් දෙනෙක්ගේ දායකත්වයෙන් ගොඩ නැගීම කැපී පෙණුනා. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 40ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුව ද එතැන් සිට සෑම පන්දුවාරයක දී ම ලකුණු 5ක සාමාන්‍යයක් පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වුනා.  

ඒ අතර පැවැති ඉහළ ම ලකුණු සබඳතාව වූයේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 90ක දී එක් වූ ලකුණු 88ක සබඳතාවයි. එහි ගෞරවය හිමි වූයේ ආරම්භක පිතිකරු Ackeem Auguste සහ Carlon Bowen- Tuckett වෙතයි 

මේ අතුරින් පළමුවෙන් දැවී යන්නේ Ackeem Auguste. ඔහු දැවී යන විට පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා සිටියා.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව ගත කළ කෙටි කාලයකින් Carlon Bowen- Tuckett ද දැවී යනවා. ඔහු දැවී යන විට පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා සිටියා.  

අනතුරු ව කොදෙව් ඉනිමට තවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට Rivaldo Clarke සමත් වෙනවා. 7 වැනි කඩුල්ල ලෙසින් ඔහු පිටියෙන් ඉවත් වෙන විට පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.  

පසුපෙළින් පිටියට පිවිසි Nathan Edward ද පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත් අතර අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවට පිවිසීමට හැකි වෙන්නේ නැහැ.  

පන්දු යැවීමේ දී ට්‍රෙවීන් මැතිව් සහ ගරුක සංකේත් කඩුලු 3ක් බැගින් දවා ගත් අතර ඊට අමතර ව ධනංජය ලක්ෂාන්, චමිඳු විජේසිංහ, රවිඳු ප්‍රනාන්දු සහ දිලුම් සුදීර කඩුල්ල බැගින් දවා ගත්තා.  

පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ නිපුන් ධනංජය සහ ශෙවෝන් ඩැනියල්. ඔවුන් දෙදෙනා අතර ලකුණු 21ක සබඳතාවක් එක් වෙද්දී ශෙවෝන් ඩැනියෙල් ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම 21ක් ව තිබූ අතර ශෙවෝන් ඩැනියෙල් පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 11ක් ලබා සිටියා.  

අනතුරු ව පිටියට පිවිසි සොහාන් ද ලිවේරා ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 8ක් එක් වෙද්දී ලකුණු නොලබා ම දැවී යනවා. ඒ අසීරු අවස්ථාවෙන් අනතුරු ව නිපුන් ධනංජය සහ සහන් කෝසල එක් ව 3 වැනි කඩුල්ලට ලකුණු 42ක සබඳතාවක් එක් කරමින් පළමු වරට ශ්‍රී ලංකා ඉනිමට ජයග්‍රාහී මානසිකත්වයත්වයක් ගෙන දෙනවා.  

සහන් කෝසල පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටිය දී දැවී යමින් එම කඩුල්ලේ සබඳතාව බිඳ දමනවා.  

අනතුරු ව පිටියට එක් වෙන්නේ අහන් වික්‍රමසිංහ. ඔහු සහ නිපුන් ධනංජය තරගය ජයග්‍රහණය පෙනෙන මානයට ගෙනවිත් අතහරින්නේ සිව් වැනි කඩුල්ලට ලකුණු 155ක සබඳතාවක් ද ගොඩ නගමිනුයි.  

නිපුන් ධනංජය පන්දු 125කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 88ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.  

එතැන් සිට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 12 හඹා යෑමේ දී අහන් වික්‍රමසිංහ තමන් ගේ වටිනා ඉනිම දුවද්දී දැවී යෑමකට බිලි දෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා සිටියා. ඔහු දැවී යන විට ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ තවත් ලකුණු 2ක් පමණයි.  

එතැන් සිට ගෙවී ගිය පන්දු 3කට පසුව ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ තරගය ජයග්‍රහණය කරන විට රවිඳු ප්‍රනාන්දු ලකුණක් ද සහ නායක ධනංජය ලක්ෂාන් ලකුණු නොලබා ද පිටියේ නොදැවී රැඳී සිටියා.  

කඩුලු දවා ගැනීමේ දී Nathan Edward ලකුණු 44කට කඩුලු 2ක් දවා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරද්දී Micah Mckenzie සහ McKenny Clarke කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බටහිර ඉන්දීය කොදෙව් ඇකඩමි කණ්ඩායම – සියලුම දෙනා දැවී 237 (46.2) Ackeem Auguste 66, Carlon Bowen- Tuckett 55, Rivaldo Clarke 51, Nathan Edward 25, ට්‍රෙවීන් මැතිව් 3/40, ගරුක සංකේත් 3/45 
  • ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 238 (39.4) නිපුන් ධනංජය 88, අහන් වික්‍රමසිංහ 103, Nathan Edward 2/44

දෙරට අතර පැවැත්වෙන 2 වැනි එක්දින තරගය මේ මස 24 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි 

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ . 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<