2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ (29) එංගලන්තයේ Birmingham නුවර දී නිල වශයෙන් ආරම්භ වුනා.
තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් මලල ක්‍රීඩා ඉසව් අගෝස්තු 02 වැනිදා ආරම්භ වීමට නියමිත අතර මලල ක්‍රීඩා ඉසව් සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු පිටත්ව ගියා.
මලල ක්‍රීඩා ඉසව්වලින් ශ්‍රී ලංකාව මෙතෙක් පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් තුනක් දිනා ඇති අතර එම පදක්කම් දිනා ඇත්තේ ඩන්කන්ට් වයිට් (රන්), ශ්‍රියානි කුලවංශ (රිදී) සහ සුගත් තිලකරත්න (ලෝකඩ) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනුයි.
මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් තිදෙනෙක්, නිමා වූ ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ද නියෝජනය කළ අතර අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් මෑත කාලයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව තිබීම විශේෂත්වයක්.
යුපුන් අබේකෝන් – මීටර් 100

පසුගිය මාසයේ පැවති තරගාවලියක දී මීටර් 100 ඉසව්ව තත්පර 9.96ක කාලයකින් අවසන් කළ යුපුන් එම ඉසව්ව තත්පර 10ට අඩු කාලයකින් අවසන් කළ පළමු දකුණු ආසියානු ක්‍රීඩකයා බවට පත් වූ අතර ඔහුගේ එම කාලය ආසියානු ක්‍රීඩකයෙක් මෙතෙක් වාර්තා කළ සිව්වැනි හොඳම කාලය ද වුනා.
යුපුන් පසුගිය දා පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ද ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබා ගත් අතර ඔහු එම මූලික වටය අවසන් කළේ පස්වැන්නා ලෙසයි.
යුපුන්ගේ මෑත කාලයේ දස්කම් සලකා බලන විට ඔහු මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙනසක් සිදු කළ හැකි ක්‍රීඩකයෙක් වන අතර ඔහුට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුවහොත් එය සුවිශේෂී කඩඉමක් වනු නොඅනුමානයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුවක් වන යුපුන් අගෝස්තු 02 වැනිදා සිය මූලික තරගයට සහභාගී වීමට නියමිතයි.
සාරංගි සිල්වා – දුර පැනීම

දුර පැනීම ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියන ඇයගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය මීටර් 6.65ක්.
මෑත කාලයේ දී විදෙස් රටවල් හී විශේෂ පුහුණුවීම් සැසි කිහිපයක් සඳහා සහභාගී වූ සාරංගි පසුගිය මාසයේ දී යුරෝපා සංචාරයක නිරත වෙමින් ජයග්‍රහණ කිහිපයක් දිනා ගන්නට ද සමත් වුනා.
ඇය 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ශ්‍රේණිගත කිරීම් ඔස්සේ සුදුසුකම් ලබා ගත්තත්, එම අවස්ථාව ප්‍රතික්ෂේප කර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා විශේෂ පුහුණුවකට ඇය පිටත් වීම විශේෂත්වයක්.
සාරංගිගේ වර්තමාන දස්කම් මත ඇයට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් කරා යෑමට විශාල හැකියාවක් පවතින අතර ඇය අගෝස්තු 05 වැනිදා සිය මූලික තරග සඳහා සහභාගී වීමට නියමිතයි.
සුමේධ රණසිංහ – හෙල්ල විසි කිරීම

මෙම වසරේ දී හෙල්ල විසි කිරීම ඉසව්වෙන් මීටර් 82.18ක කැපී පෙනෙන දස්කමක් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර එය මෙම වසර තුළ වාර්තා වූ ලොව හොඳම දස්කම් 20 අතර තිබීම ද විශේෂත්වයක්.
හෙල්ල විසි කිරීම ඉසව්වේ වසර ගණනාවක් ජාතික ආධිපත්‍ය රඳවා ගත් සුමේධගේ පෞද්ගලික හොඳම දස්කම දැක්වෙන්නේ මීටර් 83.04ක්.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩකයින්ගේ දස්කම් අතරින් ද සුමේධ පළමු 10 දෙනා තුළ සිටින අතර ඔහුට මෙම තරගාවලියේ දී පදක්කම් දිනා ගැනීමට ද විශාල අවස්ථාවක් තිබෙනවා.
සුමේධ හෙල්ල විසි කිරීමේ අවසන් තරගය සඳහා අගෝස්තු 07 වැනිදා පිටියට පිවිසීමට නියමිතයි.
- යොවුන් ලෝක ශූරතාවයට ශ්‍රී ලංකාවෙන් 7ක්
- ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලෝක ශූරතා තරග කාලසටහන
- ඉන්දීය ක්‍රීඩිකාවන් දෙදෙනෙකුට පොදුරදමඬුලු වරම් අහිමි කෙරේ
- යුපුන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පළමු 25ට
- ගයන්තිකා මූලික වටයේ 5 වැනි තැනට
ගයන්තිකා අබේරත්න – මීටර් 800

කාන්තා මීටර් 800 ඉසව්වේ ජාතික වාර්තාවට ද හිමිකම් කියන ගයන්තිකා අබේරත්න පසුගිය දා පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට ශ්‍රේණිගත කිරීමේ ඔස්සේ සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
එහි මූලික වටය තත්පර 2:02.35ක කාලයකින් පස්වැන්නා ලෙස අවසන් කිරීමට ඇයට හැකි වූ අතර ඇය එහි දී වාර්තා කළ කාලය එම තරගාවලියේ දී ආසියානු ක්‍රීඩිකාවන් එම ඉසව්වට වාර්තා කළ වේගවත්ම සහ ඇයගේ දෙවැනි හොඳම කාලය වීම කැපී පෙනුණා.
මේ වන විට 35 වැනි වියේ පසුවන ගයන්තිකාගේ මීටර් 800 ඉසව්වේ හොඳම කාලය තත්පර 2:01.44ක් වන අතර ඇය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙනසක් කළ හැකි ක්‍රීඩිකාවක්.
ගයන්තිකා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 800 මූලික තරගයට අගෝස්තු 02 වැනිදා සහභාගී වීමට නියමිතයි.
නිලානි රත්නායක – මීටර් 3000 බාධක දිවීම

මෙම වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවයේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 9:40.24ක කාලයකින් අවසන් කරමින් ජාතික වාර්තාව පිහිටවූ ඇය 2022 ලෝක මලල ක්‍රීඩා ශූරතාවය ද නියෝජනය කළා.
එහි කාන්තා මීටර් 3000 මූලික තරගය මිනිත්තු 9:54.10ක කාලයකින් ඇය අවසන් කළේ දහතුන් වැන්නා ලෙසයි.
ශ්‍රී ලංකාවට බාධක සහ දිගුදුර ඉසව්වෙන් සුවිශේෂී ජයග්‍රහණ අත් කර දුන් නිලානි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 3000 බාධක දිවීමේ අවසන් තරගයට අගෝස්තු 05 වැනිදා සහභාගී වීමට නියමිතයි.
කාලිංග කුමාරගේ – පිරිමි මීටර් 400

පසුගිය කාලසීමාවේ දී මීටර් 400 කිරුල තම සන්තකයේ තබා ගත් කාලිංගගේ එම ඉසව්වට හොඳම දක්ෂතාවය දැක්වෙන්නේ තත්පර 45.73ක් ලෙසයි.
ආසියානු සහ දකුණු ආසියානු තලයේ ඉසව් රැසක ශ්‍රී ලංකාව නියෝජනය කළ කාලිංග නිමා වූ මාසයේ දී මෙරට නියෝජනය කරමින් යුරෝපා සංචාරයකට ද එක් වුනා.
දැඩි කැපවීමක් සහිත ක්‍රීඩකයෙකු වන කාලිංග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙනසක් සිදු කළ හැකි ක්‍රීඩකයෙක් වන අතර ඔහු අගෝස්තු 03 වැනිදා මූලික වටයේ තරගයට සහභාගී වීමට නියමිතයි.
මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වර්තමාන දස්කම්, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සැසඳීමේ දී පහත පරිදි වේ.


>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<





















