සාන්ත ජෝසප් ප්‍රහාරයෙන් කිංග්ස්වුඩ් බලාපොරොත්තු බිඳෙයි

Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

1145

2022 Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කරමින් අද (23) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයත්, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයත් කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණා. ලකුණු 34-03ක් ලෙස තරගය පහසුවෙන් ජය ගන්නට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා.

මෙවර පාසල් රග්බි තරග වාරය ආරම්භ වන්නේ වසර දෙකකට පමණ පසුව වීම විශේෂත්වයක්. සංචාරක කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ගේ පා පහරින් තරගය ආරම්භ වූ නමුත් තරගයේ පළමුවෙන් ලකුණු රැස් කරන්නට සමත් වුනේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්.

ලැබුණු පළමු දඬුවම් පහරම උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරන්නට සාන්ත ජෝසප් නායක ටෙරාන් කරුණානායක සමත් වුනා. විහඟ රන්දීප අනගි ධාවනයකින් පසුව සිය නායකයාට ඉඩ සකසා දුන් අතර දිල්හාර සුභාෂ් අමතර ලකුණු ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් වුනා. (සාන්ත ජෝසප් 07 – 00 කිංග්ස්වුඩ්)

තවත් උත්සාහක දිනුම් දෙකක් පළමු අර්ධයේ දී රැස් කරගන්නට සාන්ත ජෝසප් කණ්ඩායම සමත් වුනේ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් දැඩි අර්බුදයකට ඇද දමමිනුයි.

දැවැන්ත සාන්ත ජෝසප් ඉදිරිපෙළ මෙවර ක්‍රියාත්මක වූ අතර නවීන් මාරසිංහ ගෝල කණු අතරින්ම උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. ඊට මොහොතකට පසුව ෆුල් බැක් ක්‍රීඩක ඉසුරු කාංචන තෙවැනි සාන්ත ජෝසප් උත්සාහක දිනුම වාර්තා කළේ පළමු අර්ධය ලකුණු 19-00ක් ලෙස නිමා කරමිනුයි.

පළමු අර්ධය අවසන් වන්නට මොහොතකට පෙර සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ්පත් හිමි වුනා. සචින්ත විදාන හා දිල්හාර සුභාෂ් දෙදෙනාටම කහ කාඩ්පත් හිමි වුනේ කිංග්ස්වුඩ් කණ්ඩායමට අමතර වාසියක් ගෙනෙමිනුයි. කෙසේ වෙතත් ඔවුන්ට ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

කිංග්ස්වුඩ් කණ්ඩායම පළමු අර්ධය නිමාවට මත්තෙන් දඬුවම් පහරකින් මඟින් ලකුණු රැස් කරන්නට සමත් වුනා. එම ලකුණු තුන හිමි වුනේ ඉෂාරටයි.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 19 (3T, 2C) – 03 (1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

දෙවැනි අර්ධයේ දී කණ්ඩායම් දෙකම ඉතා වෙහෙසකර බවක් පෙන්වූ අතර කිංග්ස්වුඩ් කණ්ඩායමට අමතර අවාසියක් ගෙනෙමින් දිසානායක හට කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වෙන්නට සිදු වුනා.

එතැන් පටන් සාන්ත ජෝසප් කණ්ඩායම නැවත ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට පටන් ගත් අතර ඔවුන් නැවත තුන් වතාවක්ම ධවල රේඛාව ඉක්මවා ගියා.

සචින්තන විදාන දෙවැනි අර්ධයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර කිංග්ස්වුඩ් ආරක්ෂක වළල්ල අතරින් හිඩැසක් සොයා ගිය ස්ක්‍රම් හාෆ් ක්‍රීඩක විහඟ රන්දිප දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා.

තරගයේ අවසාන උත්සාහක දිනුම ෂිතිජ සංජීව රැස් කළ අතර කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් දෙවැනි අර්ධය පුරාවටත් උත්සාහක දිනුමක් සම්පූර්ණ කරගන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 34 (6T, 2C) – 03 (1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

NDB තරගයේ වීරයා – ටෙරාන් කරුණානායක

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<