ශ්‍රී ලංකාවට සිංගප්පූරුවේ දී පදක්කම් මල්ලක්

සිංගප්පූරු ජාත්‍යන්තර බර එසවීමේ තරගාවලිය 2022

75

පසුගිය පෙබරවාරි 26 වැනිදා ආරම්භ වූ සිංගප්පූරු බර ඉසිලීමේ ජාත්‍යන්තර තරගාවලිය සඳහා සහභාගි වී සිටින ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම සිය පදක්කම් මල්ලට පදක්කම් 5ක් හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

තරගාවලියේ අවසන් තරග ඉසව් හෙට (27) පැවැත්වීමට නියමිත අතර මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් ලෙස ද ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකාව ඊයේ (25) පැවති තරග ඉසව්වල දී කාන්තා කිලෝග්‍රෑම් 49 සහ පිරිමි කිලෝග්‍රෑම් 55 බර පන්ති නියෝජනය කරමින් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වුනා.

එහි දී කාන්තා කිලෝග්‍රෑම් 49 බර පන්තිය යටතේ තරග කළ ශ්‍රීමාලි සමරකෝන් එම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ සිය එසවීමේ දී මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 151ක් ලෙස සටහන් කරමින්.

මීට අමතරව දිලංක කුමාර පිරිමි කිලෝග්‍රෑම් 55 බර පන්තියේ දී සමස්ත කිලෝග්‍රෑම් 238ක් ඔසවමින් ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට සමත් වුනා. ඒ ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා පදක්කම් සටහනට එක්වූ දෙවැනි පදක්කමයි.

තරගයේ දෙවැනි දිනය ලෙස ක්‍රියාත්මක වූ අද ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවීණ පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභීන් දෙදෙනකු සමඟින් තරග බිමට පිවිසියා. එහි දී ඔවුන් ඔවුන්ගේ අදාළ ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී ඉන්දික දිසානායක පිරිමි කිලෝග්‍රෑම් 73 කාණ්ඩයේ සමස්ත බර කිලෝග්‍රෑම් 278ක් ඔසවමින් රන් පදක්කම දිනා ගත් අතර ඒ අනුව ඔහුට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීමට අවස්ථාව හිමිවනවා.

මීට අමතරව පිරිමි කිලෝග්‍රෑම් 73 කාණ්ඩයෙන්ම තරග වැදුණු සුදේෂ් පීරිස් මුළු බර කිලෝග්‍රෑම් 269ක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුනා.

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනා ගැනීමට සමත් වූ චතුරංග ලක්මාල් පිරිමි කිලෝග්‍රෑම් 67 කාණ්ඩයේ සමස්ත බර කිලෝග්‍රෑම් 268ක් ඔසවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. ඒ අනුව ඔහු ද එංගලන්තයේ බර්මින්හැම්හිදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වුනා.

එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවෙන් ඉහළින්ම රැඳවීමට සමත්ව සිටිනවා.

චතුරංග ලක්මාල්, ඉන්දික දිසානායක සහ හංසිනි ගෝමස් පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් පදක්කම් දිනූ අතර එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව දිනා ගත් පදක්කම් හයෙන් තුනක්ම බර ඉසිලීමේ තරග වලින් දිනා තිබීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<