67 වන මොරටු රන් සටනේ දී තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අභිබවා යාම සඳහා මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සේනා සංවිධානය කරමින් සිටියි.

දකුණු ලක අගනුවර සටනේ වැඩි වාසි අතැති රිච්මන්ඩ් විද්‍යාලය

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ක්‍රිකට් ඉතිහාසය 19 වන සියවසේ අගභාගය දක්වා දිව යයි. 1887 වසරේ දී පළමු වරට මහත්වරුන්ගේ ක්‍රීඩාව ආරම්භ කළ දා සිටම රිච්මන්ඩ් විද්‍යාලය…

ඉතිහාස පොතේ පිටු අතරින්

සිය වසකට අධික ප්‍රෞඪ ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන වේල්ස් කුමර විද්‍යාලයේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ආරම්භ කිරීමේ ගෞරවය හිමිවන්නේ G. C. මෙන්ඩිස් හටයි. 1986 වසරේ J. G. ප්‍රනාන්දු ගේ නායකත්වය යටතේ ඔවුන් පළමු තරග තුන සඳහා ප්‍රතිවාදීන් ලෙස තෝරා ගත්තේ කොළඹ රාජකීය, වෙස්ලි සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයි. එම තරග තුනෙන්ම වේල්ස් කුමරුවන් පරාජය වුවත් එම පරාජයන් හමුවේ පසු බැස නොගිය ඔවුන් එළඹෙන කාලය තුල ජාතික මට්ටමේ ක්‍රීඩකයන් රැසකටම ක්‍රිකට් අත්පොත් තබන්නට සමත් විය.

H.L. ද සිල්වා, M. J. ප්‍රනාන්දු, G. P. ද සිල්වා, W. O. ද සිල්වා වැනි ක්‍රීඩකයන් රැසකගේ පළමු ක්‍රිකට් පියවර එසවුණු වේල්ස් කුමර විදුහල් බිමෙන්, දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ ලංකා (Ceylon) කණ්ඩායම නියෝජනය කල පළමු ක්‍රීඩකයා වුනේ O. L. F. සේනාරත්නයි. ඒ 1926 වසරේ දී. අද්‍යතන යුගයේ දී වේල්ස් කුමර විද්‍යාලයෙන් බිහි වූ ප්‍රධාන ක්‍රීඩකයන් ලෙස ග්‍රැන්විල් ද සිල්වා, අමල් සිල්වා, ඩී. එස්. ද සිල්වා, චමින්ද මෙන්ඩිස්, හසන්ත ප්‍රනාන්දු සහ දර්ශන ගමගේ හැඳින්විය හැකි අතර වර්තමාන ක්‍රිකට් කරළියේ පෙරලිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් මෙන්ම ලහිරු තිරිමාන්න ද අභිමානවත් ආදි වේල්ස් කුමරුවන් වෙයි.

අවධානය යොමු වන ක්‍රීඩකයන්

මෙවර වේල්ස් කුමර ක්‍රිකට් සංචිතය දක්ෂ ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් සමහරෙක් ජාතික කනිෂ්ඨ කණ්ඩායම පවා නියෝජනය කරමින් අත්දැකීම් සම්භාරයක් රැස් කර ගත් ක්‍රීඩකයන් වේ. ඒ අතරට නවක දක්ෂයන් ද සංකලනය කර ගත් කණ්ඩායමක් සහිතව මෙවර මොරටු රන් සටනට පිවිසෙන වේල්ස් කුමර විද්‍යාලය අවිවාදිතවම පරාජය කිරීමට ඉතා අපහසු බල ඇණියක් වනු ඇති.

මෙම පරිපූර්ණ කණ්ඩායමේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රීඩකයා ලෙස හැඳින්විය හැක්කේ විශිෂ්ට පිතිකරණ දක්ෂතාවකින් හෙබි විශ්ව චතුරංග යි. ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කණ්ඩායම නියෝජනය කිරීම හේතුවෙන් මෙවර පාසල් තරග වාරයේ බොහෝ තරග විශ්ව හට අහිමි වුවත්, අත්‍යවශ්‍යම මොහොතේ ඔහු නැවතත් කණ්ඩායම සමඟ එක් වීම වේල්ස් කුමර කණ්ඩායමට මහත් ශක්තියක් මෙන්ම මානසික අභිප්‍රේරණයක් ද වනු ඇති.

විශ්ව ජාතික වගකීම සඳහා නික්ම යාමත් සමඟ නායකත්වයේ බර සිය උර මතට ගත් ඩිලංක මධුරංග එම රාජකාරිය මැනවින් ඉටු කලේ තම කණ්ඩායම් සගයන් හට නායකයෙකුගේ කාර්යභාරය ආදර්ශයෙන්ම පෙන්වමිනුයි. දර්ශනීය පිති හරඹයකින් බොහෝ දෙනාගේ හදවත් දිනා ගත් මධුරංගගේ ලකුණු 700 ඉක්මවූ වාර්තා අතරට විශිෂ්ට ශතක දෙකක් ද අන්තර්ගත වෙයි. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ඔහු වාර්තා කළ ලකුණු 146 මෙවර තරග වාරයේ ඉහලම දස්කම් අතර ලියවෙන ඉනිමකි.

කවදත් පාසල් ක්‍රිකට් පිටියේ බැබළෙන තුන් ඉරියව් ක්‍රීඩකයන් නිපදවන කර්මාන්ත ශාලාවක් බඳු වේල්ස් කුමර විද්‍යාලය මෙවර කරළියට ගෙන ආ තුන් ඉරියව් තරුව වන්නේ තිලාන් නිමේෂ් ක්‍රීඩකයායි. කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව රැස් කළ ලකුණු 111ක් ද සමඟින් මෙවර තරග වාරයේ දී ලකුණු 690ක් තම නම ඉදිරියේ සටහන් කර ගෙන ඇති අතර ඔහුගේ වමත් දඟ පන්දුවට ගොදුරු වූ ප්‍රතිවාදී පිතිකරුවන් සංඛ්‍යාව 52ක්.

වේල්ස් කුමර පිතිකරණ බල ඇණියේ තවත් ප්‍රධාන අවියක් වන සනෝජ් ධර්ෂික කණ්ඩායමේ මැද පෙළ ශක්තිමත් කිරීමේ පෙරමුණ ගෙන සිටින්නේ මෙවර තරග වාරය තුල ලකුණු 610ක් ලබා ගනිමිනුයි. කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව වාර්තා කල ලකුණු 112ක ඉනිම ඔහුගේ සාර්ථක තරග වාරය සැරසූ මාණික්‍යයයි. සනෝජ් වේල්ස් කුමාර පිතිකරණ ලැයිස්තුව දීර්ඝ කිරීමට දෙන දායකත්වය හේතුවෙන් ඕනෑම ප්‍රතිවාදී කණ්ඩායමකට තර්ජනයක් වීමේ හැකියාව ඔවුන්ට ලැබී ඇත.

වේල්ස් කුමර කණ්ඩායමේ ලකුණු 600 සීමාව ඉක්මවන්නට සමත් වූ තවත් පිතිකරුවෙකු වන්නේ අවිඳු ප්‍රනාන්දුයි. කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව ගොඩනැගු ලකුණු 88ක සටන්කාමී ඉනිම මෙවර තරග වාරයේ ඉහලම දක්ෂතාව කර ගත් ඔහු ද මැදපෙළ ශක්තිමත් කිරීමට ඉහල දායකත්වයක් සපයන ක්‍රීඩකයෙකි.

කෞමාල් නානායක්කාර තවත් වමත් දඟපන්දු යවන්නෙකි. මෙවර පාසල් ක්‍රිකට් පිටිය කැලඹූ වේල්ස් කුමර දඟපන්දු ත්‍රිත්වයේ දෙවන පුරුක වන කෞමාල් ද කඩුලු 50 සීමාවට එක් පියවරක් පසුපසින් සිටියි.

වේල්ස් කුමර දඟපන්දු ත්‍රිත්වය සම්පූර්ණ කරන දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක සවිඳු පීරිස් මෙවර තරග වාරය තුල දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 38ක්. තිලාන්, කෞමාල් සහ සවිඳු එක්ව නායක විශ්ව චතුරංග හට පන්දු යවන්නන් තෝරා ගැනීම සඳහා උවමනාවටත් වඩා වැඩි නිදහසක් සපයයි.

පුහුණු කාර්ය මණ්ඩලය

මේ වසරේ දී ද මොරටු වේල්ස් කුමරුවන් පුහුණු කිරීමේ ප්‍රධාන වගකීම දරන්නේ කුෂාන් ජයවික්‍රමයි. ඔහුගේ සහාය පුහුණුකරු ලෙස ශාන්ත රොද්‍රිගු කටයුතු කරයි.

සාරාංශය.

මෙවර තරග වාරයේ සහභාගී වූ තරග 14 අතුරින් පූර්ණ ජයග්‍රහණ 4ක් ද වාර්තා කර ඇති වේල්ස් කුමර විද්‍යාලය පාසල් ක්‍රිකට් කරළියේ දැවැන්තයන් ලෙස සැලකෙන කණ්ඩායම් කිහිපයකටම අනපේක්ෂිත ප්‍රහාර එල්ල කරන්නට සමත් විය. එහි දී කොළඹ රාජකීය සහ ගාල්ල මහින්ද විද්‍යාල වලට එරෙහිව පැවති තරග දෙකම ඉනිමකින් ජයගන්නට ඔවුන් සමත් වීම කැපී පෙනේ. කොළඹ ලුම්බිණි විද්‍යාලය සමඟ පැවති අඩු ලකුණු සහිත තරගයේ පරාජය මෙන්ම කොළඹ නාලන්ද සහ තර්ස්ටන් විද්‍යාල හමුවේ ලද පරාජයන් වැනි සුළු පසුබැසීම් දක්නට ලැබුනත්, වේල්ස් කුමර විද්‍යාලය මොරටු රන් සටනට පිවිසෙන්නේ සිය සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් හට ප්‍රබල තර්ජනයක් එල්ල කල හැකි සේනාංකයක් ලෙසිනුයි.

වේල්ස් කුමර විද්‍යාල ක්‍රිකට් සංචිතය:

“විශ්ව චතුරංග (නායක), ඩිලංක මධුරංග (උපනායක), තිලාන් නිමේෂ්, අවිඳු ප්‍රනාන්දු, දිලේෂ් නානායක්කාර, සනෝජ් ධර්ෂික, සුවත් මෙන්ඩිස්, සවිඳු පීරිස්, ප්‍රින්ස් අලංක, සංජය ප්‍රනාන්දු, දෙවංක පීරිස්, ධනුෂ්ක ප්‍රනාන්දු, ෂෙහාන් අවිශ්ක, කෞමාල් නානායක්කාර, තාරුක ප්‍රනාන්දු, අංජුල සහන්, සඳුන් ප්‍රනාන්දු.”

තවත් විශේෂාංග පුවත් සඳහා පිවිසෙන්න