දෙවන අර්ධයේදී විද්‍යාර්ථයින් තරගය කණපිට පෙරළයි

556

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතිය ආරම්භ කරමින් තවත් උද්වේගකර තරගයක් අද (14) දින මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී නිමාවට පත්විය. ඒ මහනුවර ප්‍රබල රග්බි කණ්ඩායම් ⁣2ක් වන විද්‍යාර්ථ විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගයයි.

කිංග්ස්වුඩ් හමුවේ සේනානායකයින්ගේ බල බිඳෙයි

මෙවර සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තරගයක් ලෙස කොළඹ ඩී. එස්. සේනානායක…

කලකට පසුව අන්තෝනියන් පළමු අර්ධයේ සිටම ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණියත් දෙවන අර්ධයේදී යම් පසුබෑමකට ලක්ව අවසන් ප්‍රතිඵලය ලකුණු 22 – 19ක් ලෙස පරාජයක් ලබමින් තරගය අවසන් කර ගැනීමට අන්තෝනි විද්‍යාලයට සිදුවිය.

කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සත්කාරකත්වය දරමින් පස්වරු 4.10ට ආරම්භ වූ තරගයේ පළමු ලකුණ ද සත්කාරකයින් විසින්ම ඩැහැ ගැනීමට සමත් විය. ඒ අනුව අන්තෝනි විද්‍යාලයේ අංක 02 ක්‍රීඩක ශෂික විජේවර්ධන විසින් 13 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. එහි අමතර ලකුණු ද සිය විද්‍යාලය වෙනුවෙන් සුරැකිව හිමිකර දීමට තිරූෂ ඒකනායක සමත් විය. (අන්තෝනි 07 – 00 විද්‍යාර්ථ)

අනතුරුව තරගයේ උද්වේගකර ක්‍රීඩා රටාවට විද්‍යාර්ථයින් ද ඇතුළත් වීම හේතුවෙන් තරගය උණුසුම් මුහුණුවරක් ගන්නා ලදි. එහිදී ක්‍රීඩකයින් අතර සිදුවූ ඝට්ටනයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රධාන විනිසුරු ගිහාන් යටවර විසින් විද්‍යාර්ථ විද්‍යාලයට දඬුවම් පහරක් පිරිනැමීමට කටයුතු කළේය. ඒ අනුව ලැබූ අමතර අවස්ථාව නිසිලෙස ප්‍රයෝජනයට ගත් විද්‍යාර්ථ ක්‍රීඩක චිරන්ත කළුආරච්චි තරගයේ 17 වැනි මිනිත්තුවේදී සිය විද්‍යාලයට ලකුණු 03ක් එක්කිරීමට සමත් විය. (අන්තෝනි 07 – 03 විද්‍යාර්ථ)

Photos: St. Anthony’s College vs Vidyartha College | Schools Rugby League 2019 (Plate Segment)

ThePapare.com | Omalka Erandeera | 14/06/2019…

තරගයේ 28 වැනි මිනිත්තුවේදී සත්කාරකයින්ගේ ආරක්ෂක බලමුළු බිඳ දමමින් තවත් උත්සාහක දිනුමක් වෙනුවෙන් ධවල රේඛාව වෙත සාර්ථක ධාවනයක යෙදීමට විද්‍යාර්ථ ක්‍රීඩක ඩිල්ශාන් කෝදාගොඩ සමත් විය. එහි අමතර ලකුණු ද එක්කිරීමට පසුගිය දඬුවම් පහර සාර්ථක කර ගත් චිරන්ත කළුආරච්චිට හැකි විය. (අන්තෝනි 07 – 10 විද්‍යාර්ථ)

අනතුරුව පළමු අර්ධයේ දෙපිළම ලබාගත් අවසන් ලකුණත් සත්කාරකයින්ගේ ලකුණු පුවරුව ඉදිරියෙන් සටහන් කරවීමට 35 වැනි මිනිත්තුවේදී අන්තෝනි අංක 14 ක්‍රීඩක කවිෂ්ක ජයසූරියට හැකි විය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (අන්තෝනි 12 – 10 විද්‍යාර්ථ)

ඒ අනුව පළමු අර්ධය සත්කාරක කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 12-10ක් ලෙසින් පෙරමුණේ තබමින් අවසන් විය.

පළමු අර්ධය: ශාන්ත අන්තෝනි විද්‍යාලය 12 (2T, 1C) – 10 (1T, 1C, 1P) මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිතයින්ගේ ඔටුනු ගලවයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සුපිරිම පෙරළිය සිදු කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අද (14) අපරාජිත මරදාන…

අනතුරුව තරගයේ දෙවන අර්ධය වෙනුවෙන් පළමු පා පහර පස්වරු 5.00ට එල්ල කරමින් යළිත් තරගය ආරම්භ වූ අතර දෙවන අර්ධයේ 07 වන මිනිත්තුවේදී සත්කාරකයින් පසුකර යමින් පළමු ලකුණ රැස් කිරීමට විද්‍යාර්ථ ක්‍රීඩක රුක්ෂාන් වීරසිංහ සමත් වූ නමුත් එහි ප්‍රවර්තන ඉලක්කය අසාර්ථක විය. (අන්තෝනි 12 – 15 විද්‍යාර්ථ)

අනතුරුව දෙපිළම කරට කර සටනක නිරත වීම හේතුවෙන් තරගයේ උණුසුම් බව වැඩි වූ අතර ඒ හේතුවෙන් ප්‍රධාන විනිසුරුවරයා තරගයේ දෙවන අර්ධයේ 21 වන මිනිත්තුවේදී අපරික්ෂාරී ක්‍රීඩා රටාවක නිරත වූ අන්තෝනි අංක 01 ක්‍රීඩක ධනුජය සෙනෙවිරත්නට දිනයේ නිකුත් කළ පළමු කහ කාඩ්පත් අවවාදය නිකුත් කිරීමට කටයුතු කරන ලදි.

පසුව විද්‍යාර්ථයේ ක්‍රීඩක හුවමාරුවකින් අනතුරුව දෙවන අර්ධයේ 23 වන මිනිත්තුවේදී විද්‍යාර්ථ ක්‍රීඩක ඉෂාන් ලක්ෂාන්ට අපරික්ෂාකාරී ⁣ක්‍රීඩා රටාවක නිරත වීම හේතුවෙන් තරගයේ දෙවන කහ කාඩ්පත් අවවාදයට ගොදුරු වෙමින් පිටියෙන් ඉවත් වීමට සිදුවිය.

අනතුරුව ලකුණක් වෙනුවෙන් දෙපිළම තියුණු අවධානයකින් සහ උද්වේගකරව තරග කරන අතරතුර දෙවන අර්ධයේ 27 වන මිනිත්තුවේදී සත්කාරකයින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් නැවත වරක් සාර්ථක ධාවනයක නිරත වූ අන්තෝනි විද්‍යාලයේ ක්‍රීඩක ශෂික  විජේවර්ධන සිය නම ඉදිරියෙන් තවත් උත්සාහක දිනුමක් සටහන් කරගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද පසුගිය ප්‍රවර්තනය නිවැරදිව ස්ථානගත කළ තිරූෂ ඒකනායක විසින්ම සාර්ථක කර ගත්තේය. (අන්තෝනි 19 – 15 විද්‍යාර්ථ)

පසුව දෙවන අර්ධයේ 30 වන මිනිත්තුවේදී යළිත් වරක් තරගයේ උණුසුම මත නොසැලකිලිමත් ක්‍රීඩා රටාව හේතුවෙන් අන්තෝනි අංක 05 ක්‍රීඩක රුවන් අමරසිංහට කහ කාඩ්පත් අවවාදයක් සිදුකර පිටියෙන් පිටමං කිරීමට ප්‍රධාන විනිසුරුවරයා තීරණය කළේය.

ඒ අනුව සත්කාරකයන්ගේ ආක්‍රමණය හමුවේ තරගයේ අවසන් මිනිත්තු කිහිපය වනතෙක් පසුබැස සිටි ආගන්තුක විද්‍යාර්ථයින්ට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් එක් උත්සාහක දිනුමක් ලබාගත යුතුව තිබුනි. කණ්ඩායමට අවැසිම මොහොතේ ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගත් විද්‍යාර්ථ අංක 01 ක්‍රීඩක රවිඳු රත්නායක ධවල රේඛාව වෙත පන්දුව රැගෙන යාමට සමත් විය. පසුව එහි ප්‍රවර්තනයට ද නිසි එල්ලය ලබා ගනිමින් යළිත් වරක් ක්‍රියාත්මක වූ චිරන්ත කළුආරච්චි සිය විද්‍යාලයේ ජයග්‍රහණය තවදුරටත් සහතික කර දීමට අවැසි සහයෝගය ලබා දුන්නේය. (අන්තෝනි 19 – 22 විද්‍යාර්ථ)

ආක්‍රමණකාරී දෙවන අර්ධය සුමංගලයින්ට මරු පහරක් වෙයි

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි (2019) වසන්තයේ දෙවන අදියරේ තෙවැනි සතිය ආරම්භ කරමින් ‘B කාණ්ඩය’ යටතේ තරග වදින….

අනතුරුව තරගය අවසන් වනතෙක් ගතවූ කාලය තුළ යළිත් කිසිඳු ලකුණක් ලබා ගැනීමට දෙපිළටම නොහැකි වීම මත අවසන් ලකුණු තත්වය 22-19ක් ලෙසින් ලකුණු 03ක තියුණු ජයක් ආගන්තුක විද්‍යාර්ථයින්ට හිමි කර දෙමින් තරගය නිමාවට පත්විය.

අවසන් ලකුණු තත්වය: ශාන්ත අන්තෝනි විද්‍යාලය 19 (3T, 2C) – 22 (3T, 2C, 1P) මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්:

  • කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය – ශෂික විජේවර්ධන (2T), කවිෂ්ක ජයසූරිය (1T), තිරූෂ ඒකනායක (2C).
  • මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය – චිරන්ත කළුආරච්චි (2C,1P), ඩිල්ශාන් කෝදාගොඩ (1T), රවිඳු රත්නායක (1T), රුක්ෂාන් වීරසිංහ (1T).

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<