‘පළඟ ශූරතාවය’ අපරාජිත කිංග්ස්වුඩ් විද්‍යාලය නමින් ලියැවේ

202

සිංගර් අන්තර් පාසල් ලීග් (2019) රග්බි තරග මාලාවේ ‘කුසලාන ශූරතාවයෙන්’ ප්‍රබල මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අවාසනාවන්ත ලෙස ඉවතට විසිවී ගිය ද, එහි වේදනාවන් මකා දමමින් අද (29) අවසන් සති අන්තයේ පැවති තීරණාත්මක තරගයෙන් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය ලකුණු 15කින් පරාජය කර  ‘පලඟ ශූරතාව’ තම විද්‍යාලය වෙත රැගෙන යාමට මහනුවර කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් විය.

ඒ අනුව මහනුවර නිත්තවෙල රගර් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ අවසන් ලකුණු තත්ත්වය සටහන් වූයේ ලකුණු 42-27ක් ලෙසිනි. 

සුපිරි ජයක් සමඟින් විද්‍යාර්ථයින් A සිහිනය සැබෑ කරගනියි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසාන සති අන්තය අද (29) ආරම්භ වූ…

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියරේ පලඟ ශූරතාවවෙනුවෙන් තරග වැදුණු කණ්ඩායම් අතරින් ප්‍රසාද ලකුණු සටහනේ තරග 4කට මුහුණ දී අපරාජිතව පෙරමුණ ගෙන සිටි කිංග්ස්වුඩ් විද්‍යාලයත්, මූණ දුන් තරග 4න් තරග 3ක් ජයගෙන එක් තරගයක් පරාජය වී සිටි කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයත් තරග බිමට පිවිසුණේ ප්‍රබලත්වය අතින් එකිනෙකට නොදෙවෙනි ක්‍රීඩක සංයුතියකින් යුතුවය. 

කෙසේ වෙතත් පස්වරු 4.00ට ආරම්භ වූ තරගයේ පළමු මිනිත්තුවේ දී ම ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සත්කාරක කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වූයේ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. එම ලකුණු ලබා ගත්තේ ‘SCRUM-HALF’ ක්‍රීඩක හිරූෂ සම්පත් විසිනි. (කිංග්ස්වුඩ් 03-00 සාන්ත අන්තෝනි)

තරගය ආරම්භයේ දී ම සත්කාරකයින්ට හිමි වූ අමතර වාසිය හේතුවෙන් ආගන්තුකයින්ට පසුබැසීමට සිදු වූවද, 03 වැනි මිනිත්තුවේ දී එම ආකාරයෙන්ම දඬුවම් පහරක වාසිය ලබා ගැනීමට අන්තෝනියන්ට ද අවකාශ සැලසුණි. ඒ අවසරයෙන් ලද අවස්ථාව නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ‘FULL BACK’ ක්‍රීඩක තිරූෂ ඒකනායක සාන්ත අන්තෝනි ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (කිංග්ස්වුඩ් 03-03 සාන්ත අන්තෝනි)

දෙපිලම ලකුණු මට්ටම සම තත්ත්වයේ පසුවන පසුබිමක 05 වැනි මිනිත්තුවේ යළි ක්‍රියාත්මක වූ සත්කාරකයින්ගේ ‘WING’ ක්‍රීඩක හෂාන් සන්දීප උත්සාහක දිනුමක් වෙනුවෙන් සාර්ථක ධාවනයක නිරත වෙමින් ධවල රේඛාව මත පන්දුව පතිත කිරීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තන ඉලක්කය අසාර්ථක විය. (කිංග්ස්වුඩ් 08-03 සාන්ත අන්තෝනි) 

තරග ආරම්භයේ සිටම දැඩි ක්‍රීඩා රටාවක නිරත වෙමින් ආගන්තුකයින් අන්දමන්ද කිරීමට සමත් වූ සත්කාරකයින් නැවත වරක් 14 වැනි මිනිත්තුවේ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූයේ ලකුණු පරතරය තවදුරටත් වැඩි කරමිනි. එ් වෙනුවෙන් ධවල රේඛාව සාර්ථකව තරණය කළේ ‘FULL BACK’ ක්‍රීඩක ඩිනාල් ඒකනායක විසිනි. නමුත් එහි අමතර ලකුණු එක් කිරීම අසාර්ථකයි. (කිංග්ස්වුඩ් 13-03 සාන්ත අන්තෝනි) 

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ලකුණු 10ක පරතරයක් සහිතව ක්‍රියාත්මක වූ තරගයේ 25 වැනි මිනිත්තුවේ දී සත්කාරකයින්ගේ ලකුණු එකතුවට තවත් ලකුණු 05ක් එක් කිරීමට උත්සාහක දිනුමක් වෙනුවෙන් සාර්ථක ධාවනයක නිරත වූ ‘SECOND-ROW’ ක්‍රීඩක චතුර සොයිසා සමත් විය. කෙසේ වෙතත් එහි ද ප්‍රවර්තනය අසාර්ථකයි. (කිංග්ස්වුඩ් 18-03 සාන්ත අන්තෝනි) 

එක දිගටම නොනැවති සත්කාරකයින්ගෙන් එල්ල වන පීඩනය හමුවේ හුදකලා වී බලා සිටිනවා ඇරෙන්නට වෙනත් පිළියමක් ගැන සිතීමට ආගන්තුකයින්ට ඉඩක් නොවුණු තැන 29 වැනි මිනිත්තුවේ දී යළිත් වරක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කිංග්ස්වුඩ් විද්‍යාලයේ ඩිනාල් ඒකනායක සමත් විය. 

පෙර උත්සාහක දිනුම් සියල්ලේ ප්‍රවර්තන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ සත්කාරකයින්, මෙවර ඉන් මිදී සිය ලකුණු පුවරුවට සම්පූර්ණ ලකුණක් පළමු වරට එක් කිරීමට සමත් විය. ඒ වෙනුවෙන් ප්‍රවර්තනය සාර්ථක එල්ලයට යොමු කිරීමට හිරූෂ සම්පත් සමත්කම් දැක්වූයේ පළමු අර්ධයේ කිංග්ස්වුඩ් ලකුණු පුවරුවට එක් වූ අවසන් ලකුණ ද එක් කරමිනි. (කිංග්ස්වුඩ් 25-03 සාන්ත අන්තෝනි) 

අවසන් මොහොතේ ධර්මරාජ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙයි

2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවය මේ වන විට අවසන් සතියට…

පසුව පීඩනයෙන් සහ ලකුණු පරතරය අතින් ද විශාල අභියෝගයකට මුහුණ දී සිටි ආගන්තුකයින්ට සුළු හෝ අස්වැසිල්ලක් සැලසීමට 33 වැනි මිනිත්තුවේ දී, පෙර දඬුවම් පහර ද සාර්ථක කර ගත් තිරූෂ ඒකනායකට හැකි විය. උත්සාහක දිනුමක් වෙනුවෙන් තරමක අපහසු ධාවනයක නිරත වූ තිරූෂ ලකුණු 05ක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්ත ද, එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට අන්තෝනියන්ට නොහැකි විය. (කිංග්ස්වුඩ් 25-08 සාන්ත අන්තෝනි) 

අනතුරුව 34 වැනි මිනිත්තුවේ දී තරගයේ උණුසුම මැද අපරික්ෂාරී ක්‍රීඩා රටාවක නිරත වීම හේතුවෙන් දිනයේ නිකුත් කළ පළමු කහ කාඩ් පත් අවවාදය නිකුත් කිරීමට ප්‍රධාන විනිසුරු හසන්ත වේරංග පියවර ගන්නා ලදි. ඒ අනුව අවවාද ලබා පිටියෙන් ඉවත් වීමට සිදු වූයේ කිංග්ස්වුඩ් විද්‍යාලයේ ආරෝර්ව විජේසිංහටය.

ඒ අවසරයෙන් පළමු අර්ධය නිමාවට පත් වූයේ ලකුණු පරතරය සහ පීඩනය අතින් තවදුරටත් අන්තෝනියන් දැවැන්ත පසුබෑමකට ඇඳ දමමිනි. 

පළමු අර්ධය: කිංග්ස්වුඩ් විද්‍යාලය 25 (4T, 1C,1T)- 08 (1T,1P) සාන්ත අන්තෝනි විද්‍යාලය

අනතුරුව තරගයේ පීඩනය සම්පූර්ණයෙන්ම අන්තෝනියන් පිට පැටවී ඇති අවකාශයක දෙවන අර්ධය ආරම්භ වූවද, පළමු අර්ධයට වඩා වැඩි යමක් සිදු කිරීමේ අරමුණින් තමන් පිටියට පිවිසුණු බව සනාථ කරමින් අන්තෝනියන් දෙවන අර්ධය ආරම්භ වී කෙටි කාලයක් තුල උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. 

42 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම උත්සාහක දිනුම වෙනුවෙන් සාර්ථක ධාවනයක නිරත වීමට ‘FLY-HALF’ ක්‍රීඩක කවිෂ්ක ජයසූරිය සමත් විය. එහි ප්‍රවර්තනය නිසි එල්ලයට යොමු කිරීමට, අන්තෝනියන් වෙනුවෙන් පෙර ලකුණු ලබා ගැනීම් වෙනුවෙන් දක්ෂ ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ තිරූෂ ඒකනායක සමත් වූයේ, සිය ලකුණු පුවරුව වෙනුවෙන් ලබා ගත් පළමු සම්පූර්ණ ලකුණ එකතු කරමිනි. (කිංග්ස්වුඩ් 25-15 සාන්ත අන්තෝනි)

පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට දොරටු ඇරෙන්නේ කාටද?

වෙහෙසකාරී සති 9ක පාසල් රග්බි ලීගයෙන් අනතුරුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ…

අනතුරුව තරගයේ තියුණු බව මධ්‍යයේ ක්‍රීඩාවේ ජිව ගුණයට නොසුදුසු ආකාරයේ ක්‍රීඩා රටාවක නිරත වූ කිංග්ස්වුඩ් ක්‍රීඩක කැලුම් තෙන්නකෝන්ට 43 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පත් අවවාදයක් කිරීමට ප්‍රධාන විනිසුරුවරයා පියවර ගත්තේය. අනතුරුව ඉන් මිනිත්තු 06ක් ගත වන විට සත්කාරකයින්ට නැවත වරක් අභියෝග කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ‘PROP’ ක්‍රීඩක ශෂික විජේවර්ධන සමත් වූවද, එහි ද ප්‍රවර්තනය අසාර්ථකයි. (කිංග්ස්වුඩ් 25-20 සාන්ත අන්තෝනි) 

කෙමින් කෙමින් නැවත වරක් තරගයේ පීඩනය සත්කාරකයින් වෙතට තල්ලු කළ ආගන්තුකයින්, දෙවන අර්ධය තුල සිය තියුණු බව තවදුරටත් වැඩි කරමින් යළිත් වරක් 51 වැනි මිනිත්තුවේ දී කිංග්ස්වුඩ් ආරක්ෂක බලමුළු කඩා බිඳ දැමීමට සමත්කම් දැක්විය. එවර ‘SCRUM HALF’ ක්‍රීඩක සුහායිල් වසීම් උත්සාහක දිනුමක් වාර්තා කළේ දෙපිලේම ලකුණු මට්ටම සම තත්ත්වයට ගෙන එමින්ය. එහි ප්‍රවර්තනය ද නිසි එල්ලයට යොමු කරමින් අන්තෝනියන්ගේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත් වීමට නැවත වරක් තිරූෂ ඒකනායකම සමත් වූයේ සත්කාරකයින් ලකුණු 02කින් පසු කරයමින්ය. (කිංග්ස්වුඩ් 25- 27 සාන්ත අන්තෝනි) 

දෙවන අර්ධයේ මිනිත්තු කිහිපයක් තුල තරගය උඩුයටිකුරු කිරීමට සමත් වූ අන්තෝනියන් ප්‍රබල තත්ත්වයක පසු වුන ද, 55 වැනි මිනිත්තුවේ ආරම්භයත් සමඟින් නැවත වරක් ඔවුන්ට සත්කාරකයින්ගේ පීඩනයට ගොදුරු වීමට සිදු විය. දෙවන අර්ධයේ ලකුණක් ලබා ගැනීම වෙනුවෙන් පිටිය සිසාරා සැරිසරා වෙහෙසට පත්ව සිටි සත්කාරකයින්ගේ බලාපොරොත්තු සඵල කිරීමට, දෙවන වරටත් ක්‍රියාත්මක වූ ඩිනාල් ඒකනායක සමත් වූ අතර, ඔහු උත්සාහක දිනුමක් හරහා ලකුණු 05 රැස් කළ ද, අමතර ලකුණු වෙනුවෙන් ප්‍රවර්තනය අසාර්ථක කර ගැනීමට සත්කාරකයින්ට නොහැකි විය. (කිංග්ස්වුඩ් 30-27 සාන්ත අන්තෝනි) 

ඉන් මිනිත්තු 06කට පසුව නැවත වරක් ආගන්තුකයින්ට සැර පිළිතුරක් ලබා දීමට සත්කාරකයින් සමත් වූයේ එවර සම්පූර්ණ ලකුණු ද ලකුණු පුවරුවට එක් කරමිනි. ඒ වෙනුවෙන් ධවල රේඛාව සලකුණු කිරීම ආසිරි සෙනවිරත්න විසින් සිදු කළ අතර, ප්‍රවර්තන එල්ලය සුරක්ෂිත කිරීම හිරූෂ සම්පත් විසින් සිදු කළේය. (කිංග්ස්වුඩ් 37-27 සාන්ත අන්තෝනි) 

මෙවර කුසලාන ශූරතාවය කාටද?

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වීමට ඇත්තේ තව සතියක පමණ කාලයක් පමණයි…

අනතුරුව පිට පිට මූණ දීමට සිදු වූ තියුණු ආක්‍රමණ ද්විත්වය හේතුවෙන් ආරක්ෂාව අතින් සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ ආගන්තුක බලකොටුවට අවසන් ප්‍රහාරයත් 68 වැනි මිනිත්තුවේ දී දියත් කිරීමට සත්කාරකයින් සමත් වූයේ ලකුණු පරතරය තවදුරටත් වැඩි කර ගනිමිනි.  ඒ වෙනුවෙන් යළිත් ක්‍රියාත්මක වූ හෂාන් සන්දීප සාර්ථක ධාවනයක නිරතව ධවල රේඛාව සලකුණු කළ ද එහි ද ප්‍රවර්තනය අසාර්ථක විය. (කිංග්ස්වුඩ් 42-27 සාන්ත අන්තෝනි)

ඒ අවසරයෙන් තරගයට නියමිත කාලය අවසන් බවට වන සංඥාව  ප්‍රධාන විනිසුරුවරයා විසින් නිකුත් කළ අතර, ඒ වන විටත් සිංගර් අන්තර් පාසල් ලීග් (2019) රග්බි තරගාවලියේ දෙවන අර්ධයේ අපරාජිත කිරුළ රැක ගනිමින්, පලඟ ශූරතාව හිමි කර ගැනීමට, ලකුණු 15කින් කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කළ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත්ව සිටියේය. 

අවසන් ලකුණු තත්ත්වය: කිංග්ස්වුඩ් විද්‍යාලය: 42 (7T, 2C, 1P)- 27 (4T, 2C, 1P) සාන්ත අන්තෝනි විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්: 

  • කිංග්ස්වුඩ් විද්‍යාලය: ඩිනාල් ඒකනායක (3T), හිරූෂ සම්පත් (2C,1P), හෂාන් සන්දීප (2T), චතුර සොයිසා (1T), ආසිරි සෙනවිරත්න (1T)
  • සාන්ත අන්තෝනි විද්‍යාලය: තිරූෂ ඒකනායක (1T,2C,1P), කවිෂ්ක ජයසූරිය (1T), ශෂික විජේවර්ධන (1T), සුහායිල් වසීම් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<