වැඩ තහනම් වූ ICC ලොක්කා කැමැත්තෙන් ගෙදර යයි

351
Manu Sawhney

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ප්‍රධාන විධායක නිලධාරි (CEO) Manu Sawhney මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටියා.

ICC සභාපති Greg Barclay මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) පැවති ICC විශේෂ විධායක කමිටු රැස්වීමකින් අනතුරුව ඔවුන් මේ බව නිවේදනය කළා.

ඒ අනුව Manu Sawhney මහතාගෙන් පුරප්පාඩු වන තනතුර පිරවීම වෙනුවෙන් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ලෙස Geoff Allardice මහතා තවදුරටත් කටයුතු කරන බව ICCය සඳහන් කර සිටිනවා.

ICCය තුල සිදු කෙරුණු අභ්‍යන්තර පරීක්ෂණයක දී ඔහුගේ කළමනාකාරිත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් හඳුනා ගැනීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට Sawhney මහතාගේ සේවය අත්හිටුවීමට ICCය තීරණය කළා.

තවත් ක්‍රිකට් පුවත්:

2019 අප්‍රේල් 1 වැනිදා සිට සිය ධුරයේ වැඩ ආරම්භ කළ Sawhney මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 5 වැනි ප්‍රධාන විධායක නිලධාරිවරයා වුනා.

මේ වන විට වයස අවුරුදු 54ක් වන Manu Sawhney මහතා ඉන්දියාවේ උපත ලබා තිබෙන අතර මීට පෙර සිංගප්පූරු ක්‍රීඩා සමාජයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස හා ESPN Star Sports හි කළමනාකරණ අධ්‍යක්ෂකවරයා ලෙස වසර 17කට ආසන්න කාලයක් වැඩ කටයුතු සිදු කරමින් ක්‍රීඩා පරිපාලනය තුල වැඩි අත්දැකීම් රැසක් ලබාගෙන තිබුණා.

ඊට අමතරව  මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ විධායක නොවන අධ්‍යක්ෂකවරයෙක් ලෙස හා ගිණුම් කමිටු සාමාජිකයෙක් ලෙස ද අත්දැකීම් රැසක් ලබාගෙන ඇති Sawhney මහතා 2007 වසරේ සිට ICCය සමඟ ජාත්‍යන්තර විකාශන සබඳතාවයක් ද පවත්වා ගෙන ගොස් තිබෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<