සුපිරිතම පසුපෙළක් සමඟින් රග්බි උරුමක්කාරයෝ සටනට

2583

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා පිටියට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ රග්බි කණ්ඩායම මේ වසරේ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට පිවිසෙන්නේ ධනාත්මක බලාපොරොත්තු රැසක් සමඟිනි.

රාජකීය සුළි සුළඟ තවත් වසරක් කලඹන්නට සූදානම්

සියලු පාසල් කණ්ඩායම් සුනුවිසුනු කරමින් රාජකීය සුළි කුණාටුව 2017 වසරේ මෙන්ම 2018 වසරේ දී…

B කාණ්ඩයේ සිට පසුගිය තරග වාරයේ A කාණ්ඩයට පිවිසුණු ඔවුන් කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි සුපිරි පෙරළි රැසක් සිදු කළේ A කාණ්ඩයේ ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම බිය වද්දමිනි.

අතීතයෙන් බිඳක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා කරන පාසල් අතරින් පැරණිතම පාසල වීමේ අභිමානය කරපින්නා ගත් මහනුවර කිංග්ස්වුඩ් විදුහල වසර 125ක රග්බි පිටියේ අත්දැකීම්වලට උරුමකම් කියයි. 1891 දී L. E. බ්ලෙසේ මහතා විසින් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ඇරඹීමෙන් අනතුරුව ඒ මහතා විසින් පළමු වරට රග්බි ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුණි.

ශ්‍රී ලංකාවේ පළමු පාසල් රග්බි තරගය පැවැත්වුණේ මහනුවර ත්‍රිත්ව විදුහල හා මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර බෝගම්බර ක්‍රීඩා පිටියේ දීයි.

(ෆාසිල් මරීජාගේ නායකත්වයෙන් කිංග්ස්වුඩ් විද්‍යාලය ත්‍රිත්ව ශූරයින් බවට පත් වන්නට සමත් විය.)

අනතුරුව ගත වූ වසර සියයකට ආසන්න කාලය තුළ කිංග්ස්වුඩ් මහත්වරුන්ගේ පාසල් සංස්කෘතියේ කොටසක් වීමට තරම් කිංග්ස්වුඩ් මහත්වරුන් රග්බි ක්‍රීඩාව වැළඳ ගැනීම විශේෂත්වයකි.

පළමු වරට පාසල් රග්බි ලීග් ශූරතාවයක පහස රැන්ඩ්ල්ස් කන්දට ලැබුණේ 2004 වසරේ දීයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරිතම ක්‍රීඩකයා ලෙස අවිවාදයෙන් පැවසිය හැකි මහනුවර ක්‍රීඩා සමාජයේ සුපිරි ක්‍රීඩක ෆාසිල් මරීජා එම ගෞරවය කිංග්ස්වුඩ් විද්‍යාලයට දිනා දීමේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කරන ලදි. එම වසරේ දී කිංග්ස්වුඩ් විද්‍යාලය පාසල් රග්බි පිටියේ ත්‍රිත්ව ශූරයින් බවට පත් වීම කිංග්ස්වුඩ් රග්බි ඉතිහාසයේ නොමැකෙන මතක සටහනක්.

රග්බි පිටියේ රජවරු නැවතත් ඔටුන්න දිනා ගනී ද?

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව මතක් කළ සැණින් මතකයට එන කණ්ඩායම් ද්විත්වයක් තිබෙනවා. ඉන් එක්…

2003 – 2005 කාල වකවානුව කිංග්ස්වුඩ් රග්බි පිටියේ ස්වර්ණමය කාල පරාසයයි. ඒ 2003 වසරේ දී B කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීම, 2004 වසරේ A කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීම හා 2004 වසරේ දී මයිලෝ ජනාධිපති කුසලානය හා සත් සාමාජික ශූරතාවය දිනා ගනිමින් පාසල් බිමේ ත්‍රිත්ව ශූරතාවයන්ම ජය ගැනීමට සමත් වූ නිසයි. එක් ජය පරාජයෙන් තොරව අවසන් වූ තරගයක් හැරුණු කොට ඔවුන් 2004 වසරේ අනෙක් සියලු තරග අපරාජිතව නිමා කිරීම විශේෂත්වයකි.

2004 වසරේ ලීග් කුසලානයෙන් නොනැවතුණු ඔවුන් 2005, 2008 වසරවල දී ද ලීග් රග්බි කුසලානය දිනා ගත්තේ පාසල් රග්බි පිටියේ දැවැන්තයින් බවට පත් වෙමිනි.

නාලක වීරක්කොඩි, ගයාන් වීරරත්න, ෆාසිල් මරීජා, චාමර විතානගේ වැනි සුපිරි ක්‍රීඩකයින් රැසක් ද රොනී ඉබ්‍රහිම්, නිල්ෆර් ඉබ්‍රහිම් වැනි සුපිරි පුහුණුකරුවන් ද බිහි කිරීමට රැන්ඩ්ල්ස් කන්ද සමන්විත වූයේ රග්බි ක්‍රීඩාවට වූ ළැදියාව නිසාමය.

පසුගිය තරගවාරය

හේෂාන් ජැනසන්ගේ නායකත්වය යටතේ 2017 වසරේ B කාණ්ඩයේ තරග කළ කිංග්ස්වුඩ් රග්බි කණ්ඩායම, සුපිරි දස්කම් සමඟින් 2018 වසරේ දී A කාණ්ඩයේ වරම් නැවත දිනා ගැනීමට සමත් විය.

2018 වසරේ දී තරිඳු වැලිගම්පොලගේ නායකත්වයෙන් A කාණ්ඩයේ නැවුම් ආරම්භයක් ලබා ගත කිංග්ස්වුඩ් මහත්වරු වසර අවසන් කළේ ලීග් රග්බි ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේයි.

(L. E. Blaze අනුස්මරණ රග්බි ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් දිනා ගන්නට ඔවුන් සමත් විය.)

සාර්ථක තරගවාරයක් ක්‍රීඩා කළ ඔවුන් වසර 10 කට පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කළේ දස වසරක ශාපයකට නැවතීමේ තිත තබමින්.පළමු වටයේ ක්‍රීඩා කළ තරග නවයෙන් තරග පහක් ජය ගත් ඔවුන් තරග හතරක් පරාජය විය.

සාම්ප්‍රදායික 33 වැනි L. E. Blaze අනුස්මරණ රග්බි ශූරතාවය ද අඛණ්ඩව දෙවන වරටත් මහනුවර රැගෙන එන්නට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් සමත් වූයේ වෙස්ලි කණ්ඩායම දණින් වට්ටමිනි.

ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර…

කිංග්ස්වුඩ් මහත්වරු සත් සාමාජික රග්බි තරගාවලියේ දී ද සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ අතර කුසලාන ශූරතාවයේ අසුන අවාසනාවන්ත ලෙස ගිලිහී ගියත් තරගාවලිය අත්නොහළ ඔවුන් බඳුන ශූරතාවය මහනුවරට රැගෙන යන්නට සමත් විය.

මෙවර සූදානම  

සාර්ථක වසරකට පසු මෙවර ඔවුන්ගේ ප්‍රධානතම අරමුණ ලීග් ලකුණු සටහනේ පළමු ස්ථාන තුන තුළ තරගාවලිය නිමා කිරීමයි.

මෙවර කණ්ඩායමේ නායකත්වයේ වගකීම හිමිව ඇත්තේ අත්දැකීම් බහුල මිලාන් වීරසිංහ හටයි. ප්‍රොප් හා හුකර් යන ස්ථාන දෙකේම ක්‍රීඩා කළ හැකි මිලාන් මෙවර කිංග්ස්වුඩ් පළමු පෙළ රග්බි කණ්ඩායම මෙහෙයවන්නේ වසර හතරක පළමු පෙළ අත්දැකීම් සමඟින්.

(මිලාන් කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රධානතම තුරුම්පුවයි.)

මිලාන් පසුගිය වසර අවසානයේ පැවැත්වුණු, කොළඹ නුවර කණ්ඩායම් සහභාගී වූ ThePapare.com, ‘Kandy Reds’ හා ‘Colombo Blues’ අතර වාර්ෂික රග්බි තරගාවලියේ දී මහනුවර කණ්ඩායම ද නියෝජනය කළේය. Driving Maul අවස්ථාවල සිට පන්දුව උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට රැගෙන යමින් ඔහු කිංග්ස්වුඩ් විද්‍යාලය වෙනුවෙන් පසුගිය වසරේ දී වැඩිම උත්සාහක දිනුම්ලාභින් අතර ද ඉහළින්ම සිටින්නට සමත් විය.

පසුගිය වසරේ කිංග්ස්වුඩ් කණ්ඩායමේ ක්‍රීඩා කළ ක්‍රීඩකයින් බොහොමයක් ඉතා ළාබාල වීම නිසා ඔවුන්ගේ සේවය මේ වසරේදීත් කණ්ඩායමට ලබා ගත හැකි වීම ඔවුන්ට අමතර වාසියක් වී තිබේ.

පසුගිය තරග වාරයේ දී ඉහළ දස්කම් දැක්වූ හිරුෂ සම්පත්, ආසිරි සෙනෙවිරත්න මෙවර කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පු වේ. කණ්ඩායමේ කොඳු නාරටිය වූ ඔවුන් දෙදෙනා ත්‍රිත්ව, අන්තෝනි, ඉසිපතන ඇතුළු ප්‍රබල කණ්ඩායම් රැසකටම හිසරදයක් වූයේ දක්ෂ වේගවත් ක්‍රීඩා විලාසයෙන් ප්‍රතිවාදීන් අන්දමන්ද කරමිනි.

(පසුපෙළ කණ්ඩායමේ ප්‍රධානතම බලවේගයයි)

ෆුල් බැක් ක්‍රීඩක දිනාල් ඒකනායක හා මොහොමඩ් ශසාන් එක්ව කිංග්ස්වුඩ් පසුපෙළ තවත් ශක්තිමත් කරද්දී, කිංග්ස්වුඩ් පසුපෙළ මෙවර ලීග් තරගාවලියේ සුපිරිතම පසුපෙළ බවට පත් වනු ඇත. එයට දෙවන පෙළ ක්‍රීඩක චතුර සොයිසා ද එකතු වූ විට කිංග්ස්වුඩ් විද්‍යාලය මෙවර ප්‍රබලයින්ගේ මාරයා බවට පත් වනු ඇත.

පසුගිය වසර දෙකේ දී ම කිංග්ස්වුඩ් කණ්ඩායමේ සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් වූ පුහුණුකරු දිනේෂ් ගමගේ මහතා මේ වසරේ දී ද කණ්ඩායම සමඟින් සිටීම ඔවුන්ට මහත් සවියක් වනු ඇත. ඔහුගේ සහයට ඉඳුනිල් ප්‍රියන්ත සහය පුහුණුකරු ලෙස කණ්ඩායමට තමාගේ සේවය ලබා දෙනු ඇත.

සාන්ත අන්තෝනිවරු රග්බි පිටියේ ගොදුරු සොයා යන්නට සැරසේ

පාසල් රග්බි පිටියේ සාර්ථක ඉතිහාසයකට හිමිකම් කියන කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයට…

පසුපෙළේ සවිය කර පින්නා ගත් කිංග්ස්වුඩ් විද්‍යාලය සිය පළමු තරගය සඳහා වෙස්ලි විද්‍යාලය සමඟින් සාම්ප්‍රදායික L. E. Blaze කුසලානය උදෙසා තරග වදිනු ඇත. පසුගිය වසරේ අභිමානය මේ වසරේදීත් රැකගෙන කන්ද උඩරටට ගෞරවයක් රැගෙන යන්නට කිංග්ස්වුඩ් මහත්වරුන්ට හැකි වෙයි ද?

කිංග්ස්වුඩ් විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම

  • වෙස්ලි විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 3, නිත්තවෙල
  • සාන්ත පීතර විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 9, නිත්තවෙල
  • සාන්ත තෝමස් විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 18, ශාන්ත තෝමස් ක්‍රීඩාංගණය
  • රාජකීය විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 23, නිත්තවෙල
  • මලියදේව විද්‍යාලය හා කිංග්ස්වුඩ් විද්‍යාලය – මාර්තු 30, නිත්තවෙල

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<