රාජකීය සුළි සුළඟ තවත් වසරක් කලඹන්නට සූදානම්

2090

සියලු පාසල් කණ්ඩායම් සුනුවිසුනු කරමින් රාජකීය සුළි කුණාටුව 2017 වසරේ මෙන්ම 2018 වසරේ දී ද අඛණ්ඩව මෙන්ම අපරාජිතව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවය දිනා ගන්නට සමත් වුනා. ප්‍රබල කොළඹ රාජකීය විද්‍යාලයීය රග්බි කණ්ඩායම 2019 වසරේදීත් කුසලානය හඹා යන්නට සූදානම් ද? ThePapare.com ඔවුන් සොයා කොළඹ හතට ගියා.

ශූරයින්ගේ මාරයා නැවතත් A කාණ්ඩයේ පෙරළියකට

පාසල් රග්බි පිටියට වෙනස්ම වර්ණයක් ගෙනා ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය රග්බි කණ්ඩායම මෙවර…

අතීතයෙන් බිඳක්

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ආරම්භ කළ පැරණිතම පාසලක් බවට පත් වෙමින් රාජකීයයෝ රග්බි ක්‍රීඩාව ආරම්භ කරන්නේ 1916 වසරේදීයි. 1920 වසරේ ජූලි 31 වැනිදා ඔවුන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හමුවේ සිය පළමු නිල පාසල් රග්බි තරගයට මුහුණ දෙනවා.

(අඛණ්ඩව දෙවන වතාවටත් ලීග් කිරුල දිනා ගත් රාජකීයයෝ.)

1973 වසරේ දී මයිකල් මුලර්ගේ නායකත්වයෙන් පළමු වරට ලීග් රග්බි කිරුළ දිනාගන්නා රාජකීයයෝ එතැන් පටන් පාසල් රග්බි පිටියේ සුපිරි දක්ෂතා දක්වන්නේ 15 වතාවක් ලීග් රග්බි කිරුළ දිනා ගනිමිනි.

21 වැනි සියවසේ සාර්ථකම රග්බි කණ්ඩායම බවට පත් වන ඔවුන් සය වතාවක් ලීග් ශූරතාව කුරුඳුවත්තට රැගෙන යන්නට සමත් වෙනවා. ඒ 2003, 2009, 2011, 2015, 2017 හා 2018 යන වසරවල දීයි.

රාජකීය පහස ලබා ජාතික තලයට පිවිසුණු අමරණීය ක්‍රීඩකයින් ද රැසක් සිටිනවා. සුම්මා නවරත්නම්, අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි හා ටෙඩ් මුත්තයියා වැනි අමරණීය චරිත රාජකීය රග්බි පිටිය ශ්‍රී ලංකාවට දායාද කළා.

පසුගිය තරගවාරය

පසුගිය තරගවාරය රාජකීය රග්බි ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ තරගවාරයක්. ඒ ඔවුන් අපරාජිතව ලීග් ශූරතාව දිනා ගැනීම නිසාවෙනි.

පසුගිය වසරේ දී රාජකීය විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්නට පෙරළිකාර සාන්ත ජෝසප් විද්‍යාලය හා පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව දිනූ සාන්ත පීතර විද්‍යාලය සමත් වූ නමුත් ඔවුන්ගේ ප්‍රහාර සාර්ථකව මැඩලමින් රාජකීයයෝ අඛණ්ඩව දෙවන වතාවටත් ශූරතාවය දිනා ගත්තා.

ප්‍රබල ඉදිරිපෙළ යොදාගෙන Rolling Maul ආකාරයට ලකුණු රැස් කිරීම පුරුද්දක් බවට පත්කර ගත් රාජකීය රග්බි හමුදාව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩයම අසරණ කරමින් 56 වැනි මයිකල් ගුණරත්න ශූරතාව දිනා ගත්තේ ලකුණු 55-00ක් ලෙසයි.

(74 වන බ්‍රැඩ්බි පලිහ තමන් සතු කරන්නට රාජකීය සුළි සුළඟ සමත් විය)

ඉන් නොනැවතුණු ඔවුන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අදියර දෙකේ දී ම පරාජය කරමින් සුප්‍රකට බ්‍රැඩ්බි පලිහ තමන් සතු කර ගන්නට සමත් වුනා. දිවයිනේ පැරණිතම ද්වන්ද රග්බි සංග්‍රාමයක් වන බ්‍රැඩ්බි සංග්‍රාමයේ 74 වැනි අදියර ඔවුන් ජය ගත්තේ පළමු තරගය 39–07ක් හා දෙවන තරගය 27–19ක් ලෙසයි. 2017 වසරේ දී ද බ්‍රැඩ්බි ත්‍රිත්ව විද්‍යාලයෙන් උදුරා ගැනීමට ඔවුන් සමත් වුනා.  

සාබිත් ෆෙරෝස්ගේ නායකත්වයෙන් 2018 තරගවාරයේ තරගය වැදුණු රාජකීය කණ්ඩායමේ කැපී පෙනුණු ක්‍රීඩකයින් රැසක් සිටියා.ශ්‍රී  ලංකා සත් සාමාජික තලයේ ද සුපිරි දස්කම් දැක්වූ වේගවත් ජනිඳු දිල්ශාන්, තුලේයිබ් හසන්, මලීෂ මධුමෙවන්, හිමන්ත හිරුශාන් ඉන් විශේෂයි.

මෙවර සූදානම

රාජකීය ගෞරවය මේ වසරටත් රැකගැනීමේ වගකීම මෙවර පැටවී ඇත්තේ තුලේයිබ් හසන්ගේ උර මතයි.

පාසල් රග්බි පිටියේ අත්දැකීම් බහුලතම ක්‍රීඩකයෙකු වන ඔහු හා ජනිඳු දිල්ශාන් සෙන්ටර් ස්ථානයන් හී රාජකීය විද්‍යාලයට පසුගිය තරගවාර දෙකේ ඉමහත් සේවයක් ඉටු කළා.

ඔහුගේ දක්ෂතා නිසාම හොංකොං හි පැවැත්වුණු 2018 වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඔහු ක්‍රීඩා කළා.

පසුගිය තරගවාරයේ දී ෆුල් බැක් ස්ථානයේ ක්‍රීඩා කළ දුලාන් ගුණවර්ධන ද මෙවර තරගවාරයේ ඉතා වැදගත් රාජකීය තුරුම්පුවක් වනු අතර රාජකීය කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පා පහර දීමේ කාර්යභාරය මැනවින් ඉටු කළ ඔහුගේ සේවය මේ වසරේදීත් ඉතා වැදගත් වනු ඇත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ සත් සාමාජික කණ්ඩායමට ද සුදුසුකම් ලැබූ කළිඳු නන්දිල Fly Half ස්ථානයේ රාජකීය කණ්ඩායමේ ඉතා වැදගත් ක්‍රීඩකයෙකු වනු ඇත. පසුගිය වසරේ නිකිල් ද සිල්වා දැක්වූ දස්කම් දැක්වූ Fly Half ස්ථානයේ භාරගෙන එහි සුපිරි දක්ෂතා දැක්වීම ඔහුට එල්ල වන ප්‍රධානතම අභියෝගය වනු ඇත. නන්දිලගේ අගසව්වන් ලෙස ලෙහාන් ගුණරත්න හා යසිස් රශ්මික පසුපෙළ ශක්තිමක් කරනු ඇත.

දෙවන පෙළ ක්‍රීඩකයෙකු වන ෆාදිල් අදහන් ද රාජකීය ඉදිරිපෙළ බලකායේ ප්‍රබල තුරුම්පුවක්. තරග දිනවන්නෙකු වන අදහන්ගේ සහයට රදේශ විජේරත්න තුන්වැනි පෙළේ සිට ඉදිරිපෙළ ධවල රේඛාවෙන් එපිටට තල්ලු කරනු ඇත.

2018 වසරේ කොළඹ රාජකීය විද්‍යාලයේ පුහුණුකාරීත්වය පළමු වරට භාර ගත් එම විද්‍යාලයේම ආදී ශිෂ්‍යයෙක් මෙන්ම, CR&FC සහ ශ්‍රී ලංකා රග්බි නායකයෙකු ලෙස ද කටයුතු කළ දුශාන්ත් ලෙව්කේ මහතා පළමු වසරේ දී ම කණ්ඩායම ලීග් කිරුල සඳහා ගෙන යන්නට සමත් වුනා.

(පුහුණුකරු ලෙව්කේට මෙවරත් සාර්ථක වන්නට හැකි වෙයි ද?)

2000 වසරෙන් පසුව කිසිදු කණ්ඩායමක් අඛණ්ඩව තුන් වරක් අන්තර් පාසල් ලීග් කිරුල දිනාගෙන නොමැති වීම විශේෂත්වයක්. ඉතිහාසය ද අලුත් කරමින් වසර පහක් ත්‍රිත්ව විද්‍යාලයෙන් ඈත්කර තැබූ බ්‍රැඩ්බි කිරුල ද තවදුරටත් කොළඹ හතේම රඳවා ගනිමින් තවත් සාර්ථක වසරක් නිමා කිරීමට කොළඹ රාජකීය රග්බි විරුවන්ට හැකි වෙයි ද?

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු වටයේ තරග කාලසටහන මෙසේයි.

  • මලියදේව විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 2, රාජකීය ක්‍රීඩාංගණය
  • සාන්ත තෝමස් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 11, හැව්ලොක් පාක්
  • වෙස්ලි විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 17, රාජකීය ක්‍රීඩාංගණය
  • කිංග්ස්වුඩ් විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 23, නිත්තවෙල
  • සාන්ත පීතර විද්‍යාලය හා රාජකීය විද්‍යාලය – මාර්තු 30, සාන්ත පීතර ක්‍රීඩාංගණය

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<