Singer-MCA T20 කිරුළ CDB A කණ්ඩායමට

Singer-MCA Super Premier League T20

54
Singer-MCA Super Premier League T20

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ Singer-MCA Super Premier League විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට CDB A කණ්ඩායම සමත් වුනා.

කොළඹ 7, වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14දා) පැවැති අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වූයේ Fairfirst Insuarance කණ්ඩායම වූ අතර ඔවුන්ට එරෙහි ව කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට CDB A කණ්ඩායම සමත් වෙනවා. ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ද සිටිමින් වීම විශේෂත්වයක්.

කාසියේ වාසිය දිනා ගත් CDB A කණ්ඩායමේ නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 170ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ CDB A කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 38ක් ද ඉතිරි කර ගනිමිනුයි.

Fairfirst Insuarance කණ්ඩායම

මෝදිත රණතුංග (නායක), ගවිරු සෙන්හස් (කඩුලු රකින්නා), තනුක දාබරේ, මිනෝද් භානුක, ගයන වීරසිංහ, අනුක් ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, ඉම්තියාස් ස්ලාසා, චාමික ගුණසේකර, ලහිරු මධුශංක සහ උදිත සඳරුවන්.

CDB A කණ්ඩායම

ලහිරු මධුශංක (නායක), ලහිරු උදාර (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, ඕෂද ප්‍රනාන්දු, පවන් රත්නායක, සොනාල් දිනූෂ, ඇන්ජලෝ පෙරේරා, මෝවින් සුබසිංහ, මුදිත ලක්ෂාන්, තරිඳු රත්නායක සහ ඉසිත විජේසුන්දර.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Fairfirst Insuarance කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලකුණු 12ක් වෙද්දී දැවී ගිය අතර අනතුරු ව 2 වැනි කඩුල්ලට ලකුණු 28ක සබඳතාවක් එක් කිරීමට ගවිරු සෙන්හස් (13) සහ මිනෝද් භානුක සමත් වුනා.

මිනෝද් භානුක පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. අනතුරු ව නායක මෝදිත රණතුංග පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගැනීමට ද සමත් වුනා.

Fairfirst Insuarance කණ්ඩායම ලකුණු 50කට කඩුලු 4ක් දැවී ගොස් තිබිය දී එම ඉනිම එතැන් සිට ගොඩ ගැනීමට පෙරමුණ ගන්නේ අනුක් ප්‍රනාන්දු සහ නිමේෂ් විමුක්ති දෙදෙනායි.

ඔවුන් දෙදෙනා අතුරින් නිමේෂ් විමුක්ති පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහර 5ක් සමඟින් වේගවත් ලකුණු 37ක් රැස් කළ අතර ඔහුගේ දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 76ක සබඳතාවක් එක් කර තිබුණා. ඊට ඔවුන් වැය කරන්නේ පන්දු 45ක් පමණයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 2 වැනි පන්දුවේ දී අනුක් ප්‍රනාන්දු දුවද්දී දැවී යෑමකට ගොදුරු වූ අතර ඒ වෙද්දී ඔහු Fairfirst Insuarance ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් ව සිටියා. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ලසිත් කෲස්පුල්ලේ විසින් යැවුණ එම පන්දුවාරයේ එම කඩුලු ද්විත්වයත් සමඟින් තවත් කඩුල්ලක් බිඳ දැමීමට ප්‍රතිවාදීන් සමත් වීම කැපී පෙණුනා.

Fairfirst Insuarance ඉනිම අවසන් වෙද්දී ලසිත් කෲස්පුල්ලේ තමන් යැවූ එක ම පන්දුවාරය ලකුණු 7කට සීමා කරමින් කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.

ඊට අමතර ව මොවින් සුබසිංහ කඩුලු 2ක්, මුදිත ලක්ෂාන්, ඉසිත විජේසුන්දර සහ තරිඳු රත්නායක කඩුල්ල බැගින් දවා ගත්තා.

හඹා ගිය CDB A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ පවන් රත්නායක. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.

ඔහුත් සමඟ එක් වූ සොනාල් දිනූෂ 4 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කරමින් ප්‍රතිවාදීන් අසරණ කිරීමට ද සමත් වෙනවා. සොනාල් දිනූෂ තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා සිටියා.

මොවුන් දෙදෙනාට අමතර ව CDB A කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු උදාර පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගැනීමට ද සමත් වූ අතර ඔහු ඕෂද ප්‍රනාන්දු (15) සමඟ එක් වෙමින් 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 11ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

කඩුලු දවා ගැනීමේ දී ඉම්තියාස් ස්ලාසා ලකුණු 19කට කඩුලු 2ක් ද සහ නිමේෂ් විමුක්ති ලකුණු 25කට කඩුලු 2ක් ද දවා ගත් අතර ඊට අමතර ව චාමික ගුණසේකර ද කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Fairfirst Insuarance – කඩුලු 9ක් දැවී 170 (20.0) මිනෝද් භානුක 26, අනුක් ප්‍රනාන්දු 51, මෝදිත රණතුංග 20, නිමේෂ් විමුක්ති 37, මෝවින් සුබසිංහ 2/33, ලසිත් කෲස්පුල්ලේ 2/07

 

CDB A – කඩුලු 5ක් දැවී 171 (13.4) ලහිරු උදාර 35, පවන් රත්නායක 51, සොනාල් දිනූෂ නොදැවී 36, නිමේෂ් විමුක්ති 2/25, ඉම්තියාස් ස්ලාසා 2/19

CDB A කණ්ඩායමට කඩුලු 5ක ජයග්‍රහණයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<