කිංග්ස් XI කණ්ඩායම තනිවම ජයග්‍රහණය කරා රැගෙන යාමට ප්‍රබල උත්සාහයක් දැරූ මනන් වොහ්රාගේ සුපිරි ඉනිම නිමා කරමින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් පිළට ලකුණු 5ක ජයක් හිමිකර දීමට ඊයේ (17) වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් සමත් විය. ඊයේ පැවති අනෙක් තරගයේ දී දිල්ලි පිළ පරදවා ජය ගැනීමට කල්කටා පිළට අවස්ථාව උදා විය.

තුන් ඉරියව් දක්ෂතා සමඟින් මුම්බායි ඉන්දියන්ස් නොනවතින ගමනක

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වන විට ප්‍රබලතම කණ්ඩායම බවට පත්ව සිටින මුම්බායි ඉන්දියන්ස් පිළ ඊයේ..

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය

දිල්ලි පන්දු යවන්නන්ගේ වෑයම පරදවමින් තරගය නිමා වීමට එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මෙම තරගයේ දී සමත් විය. තරගය දිල්ලි නුවර ෆෙරෝ ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය.

කාසියේ වාසිය දිනා ගත් දිල්ලි නායක සහීර් කාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දු වාර 20 අවසානයේ ලකුණු 168ක් රැස්කර ගැනීමට පිතිකරුවන් සමත් විය. මෙවර තරගාවලියේ එකම ශතක ලාභියා වන සන්ජු සැම්සන් ඊයේ දිනයේ දී පන්දු 25කට පමණක් මුහුණ දෙමින් ලකුණු 39ක් රැස් කළේ හතරේ පහර 7ක් සමඟිනි. කඩුලු රකින පිතිකරුවෙකු ලෙසින් වර්තමානයේ දක්ෂතා අතර සිටින රිශාබ් පන්ට්ගේ පිත්තෙන් ඊයේ ගලා ආ ලකුණු සංඛ්‍යාව 38කි. පන්දු 16ක් පමණක් වැය වුනු ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

කෙසේ වෙතත් දිල්ලි පිතිකරුවන් කිසිවකුට අර්ධ ශතකයක් කරා හෝ ලඟා වීමට නොහැකි වීම තරගයේ ප්‍රතිඵලය දිල්ලි කණ්ඩායමට අහිතකර වීමට හේතු විය. අංක 6 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ පන්දු 4කට මුහුණ දී එක් ලකුණක් පමණක් රැස් කරගෙන සුනිල් නරෙයින්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

දඟ පන්දු යවන්නන්ට කවදත් ඉදිරියට පැන පහර එල්ල කිරීමට රුචිකත්වයක් දක්වන මැතිව්ස්ට ඊයේ දිනයේ දී එවන් පහරකින් තම කඩුල්ල බිඳ ගැනීමට සිදු විය. කල්කටා පිළ වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ නේදන් කෝල්ටර්නයිල් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගනිමින් පන්දු යැවීම නිමා කළේය. මීට අමතරව නරෙයින්, වෝක්ස් සහ යාදෙව් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 169ක ඉලක්කයක් හඹා යන්නට පිටියට පිවිසි කල්කටා පිළේ කඩුලු 3ක්ම ලකුණු 21ක් තුල දී බිඳ දැමීමට සහීර් කාන් සහ පැට් කමින්ස් යන වේග පන්දු යවන්නන් සමත් වූහ. දිල්ලි ප්‍රේක්ෂක ජය ඝෝෂා මැද කල්කටා පිළෙන් ජයග්‍රහණය ඈත්ව යමින් තිබූ වටපිටාවක පිටියේ එක්වුණු මනිෂ් පාණ්ඩේ සහ යූසුෆ් කාන් තරග දිනවන සුපිරි සබඳතාවයක් ගොඩ නගන්නේ එතැන් සිටයි. පන්දු වාර 12ක්ම පිටියේ රැඳී සිටිමින් ඔවුන් ලකුණු 110ක විශිෂ්ට සබඳතාවයක් පැවැත්වූහ.

15 වැනි පන්දු වාරයේ දී ලකුණු 59ක් ලබා සිටි යූසුෆ් පතාන් දැවී ගිය ද, ඒ වන විටත් ඔහු පන්දු 39ක් පමණක් වැය කරමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර තිබුණි. අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් යූසුෆ් පතාන් කල්කටා පිළ ජයග්‍රහණයේ සීමාව වෙත රැගෙන යමින් නොදැවී ලකුණු 69ක් රැස් කළේය. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් තම ඉනිම තුල අඩංගු කරමිනි. අවසන් පන්දු වාරයට ලකුණු 9ක් අවශ්‍ය කර තිබිය දී ක්‍රිස් වෝක්ස් දැවී ගිය ද එය ගැටලුවක් කර නොගත් පාණ්ඩේ හයේ පහරක් ද සමඟින් කල්කටා ජයග්‍රහණය තහවුරු කළේය.

දිල්ලි පිළ වෙනුවෙන් සහීර් කාන් සහ පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිඳ හෙලූව ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඇන්ජෙලෝ මැතිව්ස් මෙම තරගයේ දී පන්දු වාර දෙකක් ක්‍රියාත්මක කරමින් ලකුණු 15ක් ලබා දුන් නමුත් කඩුලු දවා ගැනීමට අපොහොසත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ කල්කටා නයිට් රයිඩර්ස් පිළ දළ ලකුණු වේගය අනුව මුම්බායි පිළ පසු කර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ පැමිණීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය කඩුලු 3ක් බිඳ හෙලූ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක නේදන් කෝල්ටර්නයිල්ගේ දෑතේ රැඳිණි.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 168 (පන්දු වාර 20): සන්ජු සැම්සන් 39, රිශාබ් පන්ට් 38, ශ්‍රෙයාස් ඉයර් 26, සෑම් බිලින්ග්ස් 21, කරුන් නයිර් 21, ක්‍රිස් මොරිස් 16, නේදන් කෝල්ටර්නයිල් 3/22, සුනිල් නරෙයින් 1/20, ක්‍රිස් වෝක්ස් 1/31.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 169 (පන්දු වාර 19.5): මනිෂ් පාණ්ඩේ 69*, යූසුෆ් පතාන් 59, ගෞතම් ගම්බීර් 14, සහීර් කාන් 2/28, පැට් කමින්ස් 2/39, අමිත් මිෂ්රා 1/26.


සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ කිංග්ස් XI පන්ජාබ් අතර තරගය

හයිද්‍රාබාද් නුවර රජිව් ගාන්ධි පිටියේ දී පැවැත්වුනු මෙම තරගය මෙවර අයි.පී.එල් තරගාවලියේ විශිෂ්ටතම තරගයක් බවට පත්විය. ජය පරාජය නිරන්තරයෙන්ම දෙපසට දෝලනය වුනු මෙම තරගය අවසානයේ ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් කිංග්ස් XI නායක ග්ලේන් මැක්ස්වෙල් මුලින් පන්දුවට පහර දීමට සන්රයිසර්ස් කණ්ඩායමට ඇරයුම් කළේය. පන්දුවේ හැසිරීම පිළිබඳ පූර්ව නිගමනයන් කිරීම ඉතාමත්ම අසීරු හයිද්‍රාබාද් පිටියේ පරීක්ෂාකාරී අන්දමින් පන්දුවට පහර දුන් ඩේවිඩ් වෝනර් ප්‍රමුඛ සන්රයිසර්ස් පිතිකරුවන් ලකුණු 159ක් රැස් කිරීමට සමත් වූහ.

සන්රයිසර්ස් පිළ ලබන සෑම ජයග්‍රහණයකම පාහේ පිටුපස සිටින මහ පොදු සාධකය වන ඩේවිඩ් වෝනර් ඊයේ දිනයේ දී ද හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 70ක් රැස් කළේය. ඉනිම ආරම්භයේ සිට අවසානය දක්වාම පිටියේ රැඳී සිටි ඔහු තම ඉනිම වෙනුවෙන් පරිභෝජනය කළේ පන්දු 54ක් පමණි. මීට අමතරව නමන් ඕජාගේ පිත්තෙන් ලකුණු 34ක් ගලා ආවේය. මොහිත් ශර්මා සහ අක්සා පටෙල් පන්ජාබ් පිළ වෙනුවෙන් කඩුලු 2 බැවිනි බිඳ හෙලූහ.

හයිද්‍රාබාද් තණ තීරුවේ මධ්‍යස්ථ ලකුණු සංඛ්‍යාවක් ලෙස සැලකිය හැකි ලකුණු 160ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි පන්ජාබ් පිළේ කඩුලු 6ක් ලකුණු 82ක් තුල දී බිඳ වැටීම නිසා තරගය හයිද්‍රාබාද් කණ්ඩායම දෙසට නැඹුරු වන බවක් පෙනෙන්නට තිබුණි. ඒ වන විට මැක්ස්වෙල්, මෝර්ගන් සහ මිලර් වැනි සුපිරි ප්‍රහාරකයින් සියලු දෙනාම ක්‍රීඩාගාරයේ විවේක සුව විඳිමින් සිටි නිසා තරග ප්‍රතිඵලය කෙරෙහි බොහෝ දෙනෙකුට ගැටලුවක් නොවීය.

නමුත් පන්ජාබ් පිළට කෙසේ හෝ ජයග්‍රහණය හිමිකර දීමේ අභිප්‍රායෙන් පන්දුවට පහර දුන් මනන් වොහ්රා පන්දු 50කදී ලකුණු 95ක් රැස් කරමින් බහුතරයක් සන්රයිසර්ස් ප්‍රේක්ෂකයින්ව තැති ගන්වන්නට සමත් විය. පිටිය සිසාරා විහිදුනු හතරේ පහර 9ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමගින් ඔහු තනිවම ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ඉනිම නිසාවෙන් සන්රයිසර්ස් පිළට පරාජය භාර ගැනීමට සිදුවන බවක් පෙනෙන්නට තිබුණි.

නමුත් 19 වැනි පන්දු වාරයේ දී මනන් වොහ්රාගේ බිහිසුණු ඉනිමට නැවතීමේ තිත තැබූ බුවනේශ්වර් කුමාර් සන්රයිසර්ස් පිළේ ජයග්‍රහණය සුරක්ෂිත කළේය. ඒ වන විට පන්ජාබ් පිළට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ පන්දු 9ක් තුල දී ලකුණු 15ක් පමණක් වූ නිසා වොහ්රාගේ දැවී යාම නොවන්නට ජයග්‍රහණය සන්රයිසර්ස් පිළට අහිමි වීමට ඉඩ තිබුණි. නමුත් වොහ්රාගේ දැවී යාමත් සමඟ පන්ජාබ් ඉනිම ලකුණු 154කට සීමා විය. සුපිරි පන්දු යැවීමක නිරත වුනු බුවනේශ්වර් කුමාර් ලකුණු 19කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟින් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. සන්රයිසර්ස් නායක ඩේවිඩ් වෝනර් පිත්තෙන් සුපිරි දක්ෂතා දැක්වූවත් කඩුලු 5ක් දවාගනිමින් ජයග්‍රහණය සුරක්ෂිත කල බුවනේශ්වර් කුමාර්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 6ක් දැවී ලකුණු 159 (පන්දු වාර 20): ඩේවිඩ් වෝනර් 70, නමන් ඕජා 34, ශිකර් ධවාන් 15, දීපක් හූඩා 12, මොහිත් ශර්මා 2/25, අක්සා පටෙල් 2/33, සන්දීප් ශර්මා 1/35.

කිංග්ස් XI පන්ජාබ් – සියල්ලන්ම දැවී ලකුණු 154 (පන්දු වාර 19.4): මනන් වොහ්රා 95, ඔයින් මෝර්ගන් 13, ග්ලේන් මැක්ස්වෙල් 10, මොහිත් ශර්මා 10, බුවනේශ්වර් කුමාර් 5/19, රශීඩ් කාන් 2/42, මොයිසස් හෙන්රිකස් 1/6.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද ක්‍රියාත්මක වන එකම තරගය ලෙස ගුජරාට් ලයන්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම රාත්‍රී 8ට රාජ්කොට් හිදී තරග වදියි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට