පිටිය මැද උරණ වූ සිම්බාබ්වේ පිතිකරුට දඬුවම්

715

නැමීබියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගයක් අතරතුර ICC චර්යා ධර්ම සංග්‍රහයේ පළමු මට්ටමේ විනය කඩකිරීමට ලක්වූ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza හට තරග ගාස්තුවෙන් 50%ක දඩයක් පැනවීමට ICCය තීරණය කර තිබෙනවා.

Bulawayo හි පිහිටි Queens Sports Club ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී Raza විසින් ICC චර්යා ධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය, ‘ජාත්‍යන්තර තරගයක දී විනිසුරුගේ තීරණයකට විරුද්ධත්වය පෙන්වීම’ උල්ලංඝනය කිරීම නිසාවෙන් ඔහුට මෙලෙස දඬුවම් ලබා දී තිබෙනවා.

එම දඬුවමට අමතරව අයහපත් ලකුණු (demerit points) දෙකක් ද ඔහුගේ  විනය වාර්තාවට එකතු කර තිබෙනවා.

අදාළ සිදු වීම සිම්බාබ්වේ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී සිදු වූයේ කඩුල්ල මුවා කිරීමේ වරදට (LBW) හසුව Raza පිටියෙන් ඉවත්ව යන විටයි. ඔහු විනිසුරු විසින් ලබා දුන් තීන්දුව සිය පිත්ත විනිසුරු දෙසට එල්ල කරමින් විවේචනය කරමින් ප්‍රශ්න කළ අතර පිටියෙන් ඉවත්ව යන විට ද ඔහු පරුෂ වචනයෙන් බැන වදිමින් ක්‍රීඩා විවේකාගාරය වෙත ගොස් තිබෙනවා.

පිටියේ විනිසුරුවන් වන Iknow Chabi සහ Langton Rusereට අමතරව තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ Forster Mutizwa විසින් Razaගේ හැසිරීම ගැන පැමිණිලි කර තිබෙන අතර කෙසේ නමුත් සිදු කළ වරද Raza විසින් පිළිගනිමින් තරග තීරණ Andy Pycroft විසින් ලබා දී තිබෙන දඬුවම ඔහු භාර ගෙන තිබෙන නිසාවෙන් තවදුරටත් මේ පිළිබඳව විභාගයට ගැනෙන්නේ නැහැ.

පළමු මට්ටමේ වැරැද්දක් සඳහා අවම දඬුවම ලෙස ක්‍රීඩකයාට අවවාද කිරීමේ සිට තරග ගාස්තුවෙන් 50%ක් දක්වා දඩයක් නියම කිරීමට හැකියාව පවතින අතර ඊට අමතරව අයහපත් ලකුණු දෙකක් ද ලබා දීමට බලධාරීන්ට බලය හිමිවනවා.

ක්‍රීඩකයෙකු මාස 24ක කාලසීමාවක් තුළ අයහපත් ලකුණු හතරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගත් විට, ඒවා අත්හිටුවීමේ ලකුණු (suspension points) බවට පත්වෙමින් ක්‍රීඩකයා තහනමට ලක්වනවා.

අත්හිටුවීමේ ලකුණු දෙකක් ලැබුණු විට එම ක්‍රීඩකයාට ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක් තහනම් වනවා. අයහපත් ලකුණක් මාස 24කට කාලයක් පුරාවට වලංගු වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<