ශ්‍රී ලංකාවට එරෙහි අවසන් පන්දුවාරය යවන්න ඉල්ලූ ඉන්දීය පිතිකරුවා

ශ්‍රී ලංකා - ඉන්දියා විස්සයි විස්ස තරගාවලිය 2022

4678

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ඉන්දියාව ජයග්‍රහණය කළේ ලකුණු 62කින්. මෙම තරගයේ දී ඉන්දියාව පන්දු යවන්නන් හත්දෙනෙකු යොදාගෙන තිබීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී තවත් අතිරේක පන්දු යවන්නෙකු ලෙස පන්දු යැවීමට අවස්ථාවක් දෙන ලෙස Shreyas Iyer ද ඉල්ලීමක් කර තිබෙනවා. මේ බව තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Shreyas Iyer පවසා තිබුණා.

ලක්නව් හි Bharat Ratna Shri Atal Bihari Vajpayee Ekana ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වුනා. 27 හැවිරිදි පිතිකරු Shreyas පවසා සිටියේ තරගය අතරතුර අවසන් පන්දුවාර කීපය යැවීම සඳහා තමා නායක Rohit Sharmaගෙන් අවස්ථාව ඉල්ලා සිටි බවයි. කෙසේ වෙතත් එයට Rohit Sharmaගේ අවසරය ලැබී තිබුණේ නැහැ. තමන් එහි දී ඉන්දීය උපනායක Jasprit Bumrah සමඟ කතා කළ බවත් Shreyas පවසනවා.

ඉන්දීය කණ්ඩායමේ පන්දු බලඇණියේ මූලික තුරුම්පුව වන උපනායක Jasprit Bumrahට අමතරව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක Bhuvneshwar Kumar, Harshal Patel, Yuzvendra Chahal, Venkatesh Iyer, Ravindra Jadeja සහ Deepak Hooda ද මෙම තරගයේ දී පන්දු යවා තිබුණා. තරගයේ දී ඔවුන් හත්දෙනා කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුනා.

“තරගයේ අවසන් පන්දුවාර යවන්න මට ඕනේ වුනා. මම ඒ වන විටත් පන්දු යවන්න පුළුවන් කියලා මගේ අත උස්සලා හිටියේ. Rohit Sharma 16 වැනි පන්දුවාරය යද්දී අවසන් පන්දුවාර යවන ක්‍රීඩකයන් ගැන Jasprit Bumrahට කියලා තිබුණේ. පස්සේ මම Jasprit Bumrah එක්ක කතා කළා. මම උත්සාහ කළා අල්ලසක් දීලා අවසන් පන්දුවාරය ඉල්ලා ගන්න. ඒත් ඒක සාර්ථක වුනේ නැහැ”, Shreyas Iyer සිනාමුසු මුහුණින් යුතුව තරගයෙන් අනතුරුව පවසා තිබුණා.

පසුගිය ජනවාරි මාසයේ දී ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති එක්දින තරගාවලියේ දී Shreyas Iyer හයවැනි පන්දු යවන්නා ලෙස කටයුතු කර තිබුණා. Shreyas Iyer මීට පෙර එක්දින තරග 4ක දී පන්දු යවා ඇති අතර එකඳු කඩුල්ලක් හෝ දවාගෙන නැහැ.

ඊයේ පැවති තරගයේ දී ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 199ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුනා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට දවා ගැනීමට හැකිව තිබුණේ කඩුලු 2ක් පමණයි.

එහි දී Ishan Kishan ප්‍රබල පිතිකරණයක නිරත වෙමින් ලකුණු 89ක් වාර්තා කළ අතර Shreyas Iyer පන්දු 28කින් වේගවත් ලකුණු 57ක් රැස්කළේ හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමඟින්.

ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වුනේ ලකුණු 137ක් පමණයි. එහි දී චරිත් අසලංක නොදැවී ලකුණු 53ක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ඉන්දීය කණ්ඩායම 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනා.

තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 26 වැනිදා Dharamsala හිදී පැවැත්වීමට නියමිතයි.

Hindustan Times ඇසුරෙනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<