ඉන්දියාවේ කොරෝනා සටනට Dhawan අතහිත දෙයි

278
Shikhar Dhawan donated oxygen concentrators

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Shikhar Dhawan ඉන්දියාවේ කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්ව සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඔක්සිජන් කට්ටල ඇතුළු තවත් උපකරණ රැසක් ප්‍රදානය කර තිබෙනවා. 

ඔහු මේ උපකරණ පසුගිය දා Gurugram පොලිස් ස්ථානයට ලබා දුන් බව ඉන්දීය මාධ්‍ය අද (16) වාර්තා කළා. 

ඉන්දියාව මේ වන විට දරුණු කොරෝනා අවදානමකට ලක්ව සිටින අතර දිනපතා ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ද ඉන්දියාව පත්ව තිබෙනවා. දැඩි ඔක්සිජන් හිඟයක් පවතින ඉන්දියාව තුල වාර්තා වන ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා Shikhar Dhawan විසින් මෙම උපකරණ ප්‍රදානය කර තිබෙනවා.

ඉන්දියාව තුල කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල දැඩි බලපෑමක් සිදු කරන අතර ගත වූ පැය 24 තුළ එරටින් ආසාදිතයින් 357,229ක් සහ මරණ 3,449ක් වාර්තා වුනා.

Shikhar Dhawanගේ මෙම පරිත්‍යාගය පිළිබඳව ප්‍රාන්ත පොලිසිය විසින් විශේෂ Twitter පණිවිඩයක් ද තබා තිබුණා. 

“අපේ රාජකාරිය දිගටම ඉටු කරන්න අපි බැඳී සිටිනවා. Shikhar Dhawanට ස්තූතිවන්ත වෙනවා මේ පරිත්‍යාගය සම්බන්ධයෙන්” පොලිස් ස්ථානය සඳහන් කර තිබුණා. 

එයට පිළිතුරු සපයමින් Shikhar Dhawan ද පසුව Twitter පණිවිඩයක් නිකුත් කර තිබුණා.

“මේ වගේ වසංගත තත්ත්වයක් තුළ මගේ රටේ ජනතාවට උපකාර කරන්න ලැබීම ගෞරවයක්. මේක සුළු පරිත්‍යාගයක් පමණයි. මම මගේ ජනතාවට උදව් කරන්න ඕනෑම මොහොතක සූදානමින් ඉන්නවා. ඉන්දියාව මේ වසංගතයට ශක්තිමත්ව මුහුණ දීලා ජයග්‍රහණය කරාවි” Dhawan සිය පණිවිඩයේ සටහන් කර තිබුණා.

Shikhar Dhawan නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. පසුගිය වසරේ අනුශූරතාවය දිනා ගත් Delhi Capitals මෙවර තරගාවලිය තුල ද ප්‍රබල ජයග්‍රහණ රැසක් වාර්තා කළා. Dhawan මෙවර තරගාවලිය තුල තරග 8ක දී ලකුණු 380ක් වාර්තා කළා. නිමා වූ තරග අතරින් Delhi Capitals ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද සමත්ව සිටිනවා.

Shikhar Dhawanට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් වයිරසය නිසා පීඩාවට පත්ව සිටින ඉන්දීය ජනතාවට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කර තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

මේ වන විට එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ඉන්දීය ටෙස්ට් ක්‍රීඩක Hanuma Vihari ද මෙලෙස උපකරණ රැසක් පරිත්‍යාග කර තිබුණා. ඉන්දීය නායක Virat Kohli සහ ඔහුගේ බිරිඳ වන Anushka Sharma කොරෝනා වයිරසයෙන් පීඩාවට පත්වූ පුද්ගලයන්ට උදව් කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටවූ අතර එමඟින් ඉන්දීය රුපියල් කෝටි 11ක් රැස්කීරීමට හැකිව තිබුණා. එම අරමුදලින් ඉන්දියාව පුරා ඇති රෝහල් සඳහා අවශ්‍ය ඔක්සිජන් ටැංකි පරිත්‍යාග කිරීමට ඔවුන් කටයුතු කර තිබුණා. 

ඊට අමතරව Rajasthan Royals නියෝජනය කළ Jaydev Unadkat ද විශේෂ පරිත්‍යාග කීපයක් සිදුකර තිබුණා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද කොරෝනා අවදානම හේතුවෙන් අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළා. තරගාවලියේ කණ්ඩායම් වූ Rajasthan Royals කණ්ඩායම කොරෝනා වයිරසයෙන් පීඩාවට පත් ජනතාවට ආධාර කිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 7.5ක් ලබා දුන් අතර Delhi Capitals ඉන්දීය රුපියල් කෝටි 1.5ක පරිත්‍යාගයක් සිදුකර තිබුණා. ඊට අමතරව තරගාවලිය සඳහා සහභාගී වූ Nicholas Pooran, Pat Cummins ද පරිත්‍යාග රැසක් සිදු කළා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරි දින කීපය තුල තරගාවලි කීපයකට සහභාගී වීමට නියමිතව ඇති අතර ටෙස්ට් කණ්ඩායම එංගලන්ත සංචාරයක් සඳහා එක්වන අතර ඉන්දීය දෙවන පෙළ කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් එක්දින තරගාවලියක් සඳහා එක්වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමේ නායකත්වය Shikhar Dhawan හට හිමිවනු ඇතැයි බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<