අයර්ලන්තයෙන් එංගලන්තයට අමතක නොවන පාඩමක්

අයර්ලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020 - ICC ලෝක කුසලාන සුපර් ලීගය

570
GETTY IMAGES

සංචාරක අයර්ලන්තය සහ සත්කාරක එංගලන්තය අතර පැවති ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 7ක සුපිරි ජයක් ලබා ගැනීමට අයර්ලන්තය සමත් වූයේ ලකුණු 329ක දැවැන්ත ඉලක්කයක් හඹා යමිනි. අයර්ලන්තය මේ තරගය ජය ගත් නමුත් 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ එංගලන්ත කණ්ඩායමටයි.

විලීගේ ආගමනය ජයග්‍රහණයකින් හමාර වෙයි

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසය තුල අයර්ලන්ත කණ්ඩායමක් එංගලන්තය පරාජයට පත් කළ දෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2011 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලිය තුල දී එංගලන්තය අයර්ලන්තය හමුවේ පරාජයට පත් විය.

ඊයේ (4) සවුත් හැම්ටන් හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් අයර්ලන්තයේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය සිය නියමිත පන්දුවාර ප්‍රමාණය අවසන් වීමට පෙර සිය ඉනිම නිමා කර ගත්තේ ඔවුන්ගේ කඩුලු 10ම දැවී ගිය නිසයි. 

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් එංගලන්ත ලකුණු සටහන සවිමත් කළ ඔයින් මෝගන් ලකුණු 44කට කඩුලු 3ක් ලෙස සටහන් වූ එංගලන්ත ලකුණු සටහන ලකුණු 328 සීමාව දක්වා රැගෙන යාමට විශාල සවියක් විය. එහි දී මෝගන් සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 14 වැනි ශතකය වාර්තා කරගැනීම සඳහා 4 පහර 15ක් සහ 6 පහර 4ක් එල්ල කළ අතර ඔහුට එම ලකුණු 106 ලබා ගැනීම සඳහා වැය වූයේ පන්දු 84ක් පමණි.

ඊට අමතරව එංගලන්ත මැදපෙළ සවිමත් කළ ටොම් බැන්ටන් සහ ඩේවිඩ් විලී අර්ධ ශතක ලබා ගනිමින් එංගලන්ත ලකුණු පුවරුව යෝධ ලකුණු පුවරුවක් බවට පත් කළේ 3-0ක පහසු තරගාවලි ජයක් එංගලන්තයට ලබා ගැනීම සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කරමිනි. පන්දු යැවීමේ දී නැවත වතාවක් සාර්ථක වූ ක්‍රෙයිග් යංග් ලකුණු 53කට කඩුලු 3ක් දවා ගත්තේය.

බෙයාර්ස්ටෝව් අයර්ලන්ත බලාපොරොත්තු සුන් කරයි

2-0ක් ලෙස තරගාවලිය පරාජය වී සිටීම මෙන්ම ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණුවලට ආසාවෙන් සිටින අයර්ලන්ත මුල් පෙළ පිතිකරුවෝ පළමු පන්දුවේ සිටම එංගලන්ත පන්දු යවන්නන් හට දැවැන්ත ප්‍රහාරයක් දියත් කළේය. පන්දුවාර 9ක් අවසන් වන විට අයර්ලන්තය කඩුල්ලක් දැවී ලකුණු 50ක සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය මුල් පියවර සාර්ථකව තැබුවේ පෝල් ස්ටර්ලින්ගේ ද සහය ඇතිවයි.

ඉන් අනතුරුව පිටියේ එක්වූ ස්ටර්ලින් සහ නායක ඇන්ඩෘ මැක්බ්‍රීන් දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 214ක දැවැන්ත සබඳතාවයක ගොඩනැගුවේ දෙවන කඩුල්ල සඳහා අයර්ලන්ත පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා කළ හොඳම සබඳතාවය වාර්තා කරමිනි. එසේම එම සබඳතාවය අයර්ලන්ත පිතිකරුවන් දෙදෙනෙක් විසින් ඕනෑම කඩුල්ලක් සඳහා ගොඩනැංවූ දෙවන හොඳම එක්දින සබඳතාවය ද ලෙස වාර්තා පොත් අතරට ගියේය.

ස්ටර්ලින් 4 පහර 9ක් සහ 6 පහර 6ක් එල්ල කරමින් පන්දු 128ක් තුල වේගවත් ලකුණු 142ක් ලබා ගත්තේ සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 9 වැනි ශතකය වාර්තා කරගනිමිනි. කෙසේ නමුත් ස්ටර්ලින් සහ මැක්බ්‍රීන් කඩුලු අතර දිවයාමේ දී වූ අඩුපාඩුවක් නිසාවෙන් ස්ටර්ලින්ගේ ඉනිමට තිත වැටුණේ සුපිරි සබඳතාවයකට ද තිත තබමිනි. 

එංගලන්ත නායකයා දියත් කළ නායකත්වයේ ඉනිමට නොදෙවෙනි නායකත්වයේ ඉනිමක් දියත් කළ මැක්බ්‍රීන් සිය එක්දින දිවියේ 6 වැනි ශතකය ජයග්‍රාහී තරගයක් සඳහා කැප කළේය. ලකුණු 113ක් වාර්තා වූ එම ඉනිම සඳහා 4 පහර 12ක් ඇතුළත් වූ අතර එම ඉනිම ගොඩනැංවීම සඳහා මැක්බ්‍රීන් හට වැය වූයේ පන්දු 112ක් පමණි.

අවසානයේ හැරී ටෙක්ටර් සහ කෙවින් ඕබ්‍රයන් අයර්ලන්ත කණ්ඩායම ලබා ගත් අමතක නොවන මේ ජයග්‍රහණය තහවුරු කළේ අවසන් පන්දුවාරය තුල ලකුණු 8ක් ලබාගෙනයි. පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී සහ අදිල් රෂීඩ් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

එංගලන්තය – 328 (49.5): ඔයින් මෝගන් 106, ටොම් බැන්ටන් 58, ඩේවිඩ් විලී 51, ක්‍රෙයිග් යංග් 3/53.

අයර්ලන්තය – 329/3 (49.5): පෝල් ස්ටර්ලින් 142, ඇන්ඩෘ මැක්බ්‍රීන් 113,  හැරී ටෙක්ටර් 29*

  • තරගයේ වීරයා – පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය)
  • තරගාවලියේ වීරයා – පෝල් ස්ටර්ලින් (එංගලන්තය)

ඒ අනුව ICC ලෝක කුසලාන සුපර් ලීගයේ පළමු තරගාවලිය අවසන් වූයේ එංගලන්තයට ලකුණු 20ක් සහ අයර්ලන්තයට වටිනා ලකුණු 10ක් හිමිකර දෙමිනි. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<