ලෝක මලල ක්‍රීඩා සංගමය හෙළි කළ ටෝකියෝවේ අඳුරු පැතිකඩ

190

පසුගිය දා නිමා වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පසුගිය දා සිදු කෙරුණා. ඒ ලෝක මලල ක්‍රීඩා සංගමය විසින්.

පසුගිය බ්‍රහස්පතින්දා ලෝක මලල ක්‍රීඩා සංගමයේ අධ්‍යයනයකට අනුව එම 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුහුණ දුන් සමාජ මාධ්‍ය අපයෝජනවලින් 87%ක්ම කාන්තාවන් ඉලක්ක කර ඇති බව හෙළි වී තිබෙනවා.

දත්ත විද්‍යා සමාගමක් වන Signify Group නම් ආයතනය සමඟ එක්ව සිදු කරන ලද පර්යේෂණයකට අනුව මේ බව අනාවරණය වුනා. එහි දී ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කළ වාර්තාවට අනුව මෙම අපයෝජන සඳහා ලිංගික අපයෝජන, ජාතිවාදී අපයෝජන, transphobic හෙවත් සංක්‍රාන්ති ලිංගික සම්බන්ධ අපයෝජන සහ homophobic හෙවත් සමලිංගික සම්බන්ධ අපයෝජන ඇතුළත් වනවා. එමෙන්ම මේ සඳහා පදනම් විරහිත තහනම් උත්තේජක චෝදනා ද ඇතුළත් බව සොයා ගෙන තිබෙනවා.

මෙම අධ්‍යයනය සඳහා ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් තෝරා ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කගේ නියැදියක් භාවිතා වී තිබෙනවා. මෙම ක්‍රීඩක නියැදිය සඳහා ටෝකියෝ ක්‍රීඩා උළෙලට සම්බන්ධ වත්මන් සහ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ (කාන්තා 81, පිරිමි 80) Twitter ගිණුම් 161ක දත්ත භාවිතා කර තිබෙනවා.

අධ්‍යයනයෙන් හඳුනා ගත් සිද්ධීන් වලදී අපයෝජනයට ලක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 23 දෙනාගෙන් 16 දෙනෙක් කාන්තාවන් වන අතර සමස්ත අපයෝජනවලින් 63%ක් කළු ජාතික ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වෙත යොමු වී තිබෙනවා.

මෙම අධ්‍යයනයට බාහිරව අපයෝජන පැමිණිලි 132ක් වාර්තා වී ඇති අතර එම අපයෝජනවලින් 9%ක් transphobic අපයෝජන වන අතර 1%ක් homophobic අපයෝජන ලෙස වාර්තා වනවා.

අපි මේ මාසය මුල දී අපගේ ආරක්‍ෂක ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුව මලල ක්‍රීඩා සමාජ, පාසල් සහ ප්‍රජා ක්‍රීඩා පරිසර අපගේ ක්‍රීඩාවේ නියැලෙන්නන් සඳහා ආරක්ෂිත සහ ප්‍රීතිමත් ස්ථාන විය යුතු බව මම ප්‍රකාශ කළා”, ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපති Sebastian Coe පවසා සිටියා.

අපිට මෙම පර්යේෂණය හරහා බොහෝ කණගාටුදායක පැත්තක් නිරාවරණය වන නමුත් මට වඩාත්ම සිත් ඇදගන්නා දෙයක් තිබුණා. මේ අපයෝජනය ඉලක්ක කරලා තියෙන්නේ මිනිසුන්ව දිරිමත් කිරීමට සහ අභිප්‍රේරණය කිරීමට මාර්ගයක් ලෙස ඔවුන්ගේ දස්කම් සහ ජයග්‍රහණ බෙදා හදා ගන්නා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් වෙත.”

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා තමන්ගේම සමාජ මාධ්‍ය නාලිකා සඳහා අපයෝජන වැළැක්වීමේ රාමුවක් හඳුන්වා දීම සඳහා තම සංගමය වැඩිදුර පර්යේෂණ සිදු කරන බව ලෝක මලල ක්‍රීඩා සංගමය වැඩිදුරටත් පවසා තිබෙනවා.

Times of India ඇසුරිනි  

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<