වේගපන්දුවේ දඩබ්බරයා – ඩේල් ස්ටේන්

134

පන්දුවාර 5යි. ලකුණු 58යි. කඩුලු 1යි. දල ලකුණු ලබා දීමේ වේගය පන්දුවාරයකට ලකුණු 11.6යි. නිපන්දු 7යි. වයිඩ් පන්දු 2යි. ලබා දුන් හතරේ පහර සංඛ්‍යාව 10යි.

ඉහතින් සඳහන් කර ඇත්තේ ඩේල් ස්ටේන් දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් සහභාගී වූ මංගල එක්දින ජාත්‍යන්තර තරගයේ ඔහුගේ පන්දු යැවීමේ වාර්තාව බව මා කිවහොත් ඔබ එය පිළිගන්නවා ද? සැබැවින්ම ඒ සඳහන් කර ඇත්තේ 2006 වසරේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත් ස්ටේන්ගේ පන්දු යැවීමේ වාර්තාවයි.

ඉන් වසර 14කට පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා විට එදා මෙදාතුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ලොව හොඳම ටෙස්ට් කඩුලු දවා ගැනීමේ අනුපාතයට හිමිකම් කියන පන්දු යවන්නා වශයෙන් වාර්තා අතරට එකතු වන්නට ඔහු සමත් විය.

මෑඩ් මැක්ස්, තැන්පත් අරවින්දයක් කළ මේට්ලන්ඩ් පෙදෙසේ හටන

1987 වසරේ එක්තරා අවාසනාවන්ත සමයක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙරට සංචාරයක…

බිහිසුණු ඇස්, තෙරපෙන නහර සහ ඔහුටම ආවේනික කඩුලු සැමරීම් යන සියල්ලම එක්ව සැලකීමේ දී දකුණු අප්‍රිකාව බිහි කළ වඩාත්ම බියකරු මෙන්ම බිහිසුණු වේගපන්දු යවන්නා ස්ටේන් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අධික වේගය, පන්දුව දෙපසටම දෝලනය කිරීමේ හැකියාව සහ පන්දුවාර කිහිපක්ම එක දිගට පවත්වා ගෙන යන නිවැරදි එල්ලය නිසා ඔහු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු දවා ගැනීමේ වේගය අතින් හොඳම ක්‍රීඩකයා බවට නම් වීම අහඹුවක් ද නොවේ.

ස්ටේන් කුඩා කළ හැදී වැඩුණේ දකුණු අප්‍රිකාවේ උතුරු පළාතේ ෆලබෝර්වා හි ය. ඔහුගේ ළමා කාලය තුළ ඔහු වඩාත්ම ප්‍රිය කළ ක්‍රීඩාව වූයේ ස්කේට්බෝර්ඩිං ක්‍රීඩාවයි. පසුව යොවුන් වියට එළඹෙන විට ප්‍රිටෝරියා නගරයට සංක්‍රමණය වූ ස්ටේන් එහි දී ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කළේය. 

වේගපන්දු යවන්නෙකු ලෙස පළමු පෙළ තරග හතක් පමණක් ක්‍රීඩා කරන විට එවකට සිටි දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව ස්ටේන්ව ජාතික කණ්ඩායමට තෝරාගැනීමට යුහුසුළු වුනේ ස්ටේන් සතු වූ හැකියාව ඔවුන් මනාව අවබෝධ කරගෙන සිටි නිසාය. ඒ අනුව 2004 දී එංගලන්තයට එරෙහිව ඔහු තම මංගල ටෙස්ට් තරගයට පිවිසුණ අතර එහි සුවිශේෂීත්වය වන්නේ එම තරගය සුපිරි පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස්ගේ ද මංගල ජාත්‍යන්තර තරගය වීමයි.

එම මංගල තරගයේ දෙවැනි ඉනිමේ දී ස්ටේන් එංගලන්ත පිතිකරු මයිකල් වෝන්ට යැවූ පිටතට දෝලනය වූ පන්දුව අදටත් ප්‍රේක්ෂකයන් හා විචාරකයන්ගේ පැසසුම්වලට ලක්වන පන්දුවකි. පා ඉන්න කෙළින් යොමු වූ එම පන්දුව ගුවනේ පාවී ගොස් පා ඉන්නත් මැද ඉන්නත් අතර පතිත වී ඉවතට දෝලනය වෙමින් වෝන්ගේ ආරක්ෂක බැම්ම මඟහරිමින් පිත්තේ පිටත දාරය අසලින් ඇදී ගොස් පිට ඉන්න බිම හෙළීමට සමත් වූ අතර එම පන්දුව විසි එක්වැනි සියවසේ යැවුණු හොඳම පන්දුවලින් එකක් බවට විචාරකයන් සලකනු ලබයි.

ඉන් වසර හතරකට පසු 2008 වසරේ දී එංගලන්තයේ ලෝඩ්ස් පිටියේ දී එම පන්දුවට සෑම අතින්ම සමාන පන්දුවක් යොමු කරමින් නැවත වතාවක් මයිකල් වෝන්ව දවා ගැනීමට ස්ටේන් සමත් විය. විචාරකයන් විසින් එම පන්දු දෙක හඳුන්වනු ලැබූයේ “මයිකල් වෝන්ට ලිහාගත නොහැකි වූ ස්ටේන්ගේ කේතය” යනුවෙනි.

කෙසේ නමුත් තරග 3කින් සමන්විත වූ තරගාවලිය තුළ කඩුලු 8ක් පමණක් දවා ගැනීමට සමත් වීම නිසා එම තරගාවලියෙන් පසුව කණ්ඩායමෙන් ඉවතට විසි වීමට ස්ටේන් හට සිදු විය. දිගින් දිගටම පළමු පෙළ තරගවල දස්කම් දැක්වූ ස්ටේන් සාර්ථක දේශීය තරගාවලියකින් පසු 2006 වසරේ දී නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ වරම් දිනා ගැනීමට සමත් විය. ඒ නවසීලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙනි.

තමාට සුපුරුදු ආවේගශීලී රිද්මයකින් තරගාවලියට පිවිසුණු ස්ටේන් තම ජාත්‍යන්තර දිවියේ පළමු කඩුලු 5 වාර්තා කිරීමට සමත් විය. තරග 3කින් සමන්විත වූ එම තරගාවලිය නිමාවන විට ප්‍රතිවාදී කඩුලු 16ක් දවා ගන්නට ස්ටේන් සමත් වූයේ එවකට ටෙස්ට් පිටියේ පරිණත වේගපන්දු යවන්නෙකු වූ මකායා එන්ට්නි සමඟින් එක් වෙමින් නවසීලන්ත පිතිකරණ ලැයිස්තුව සුනුවිසුනු කර දමමිනි.

ඉන්පසුව එළැඹි පාකිස්තාන සංචාරයේත්, අනතුරුව පැවති නවසීලන්ත සංචාරයේත් සුපුරුදු දස්කම් අතරට පැමිණි ස්ටේන් බවුන්සර් පන්දුව තම බිහිසුණු අවිය බවට පත් කර ගන්නට සමත් විය.නවසීලන්ත කණ්ඩායම සමඟින් පැවති තරගය අතරතුර ස්ටේන් යැවූ පන්දුවක් හිස් ආවරණයේ වැදීම නිසා නවසීලන්ත පිතිකරු ක්‍රෙග් කමින්ස් බිම ඇද වැටුණ අතර අධික ලෙස ලේ වහනය වූ නිසා කමින්ස්ව රෝහල් ගත කිරීමට සිදු විය. 

මෙම සිදුවීමත් සමඟින් ලොව පුරා පිතිකරුවන් ස්ටේන්ට මුහුණ දීමට මැලිකමක් දක්වන්නට වූ අතර ඔහුගේ අධික වේගය පමණක් නොව පන්දුව තණතිල්ල මතින් ලිස්සා යැවීමට (skid) ඔහු සතු වූ හැකියාව නිසා බොහෝ පිතිකරුවන් ඔහු ඉදිරියේ පහසු ගොදුරු බවට පත් වන්නට විය.

එම බියෙන් උපරිම ප්‍රයෝජන නෙලා ගත් ස්ටේන් 2008 වසර තුළ දී ටෙස්ට් තරග 14ක් තුළ කඩුලු 86ක් දවා ගන්නට සමත් විය. එම දස්කම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් පවත්වන සම්මාන ප්‍රදානෝත්සවයේ දී ඔහුව වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වශයෙන් නම් කරන ලදී. 

එම වකවානුවේ ලෝකයේ ප්‍රබලම වේගපන්දු යවන්නන් අතර ඉහළින්ම රැඳී සිටි මකායා එන්ට්නි සහ ශෝන් පොලොක් දෙදෙනා ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ කණ්ඩායමට අලුතින් එක්වූ මෝනි මෝකල් සමඟින් නව ගමනක් ඇරඹීමට ස්ටේන් හට හැකි විය. ඔහු සතු වූ අසාමාන්‍ය උස නිසාම ජිරාෆ් යන සුරතල් නාමයෙන් හැඳින්වූ මෝකල්, ස්ටේන් හා එක්වෙමින් ප්‍රතිවාදී පිතිකරණ ලැයිස්තු එකින් එක බිඳ දැම්මේ දකුණු අප්‍රිකානු වේගපන්දුව එන්ට්නි හා පොලොක් නතර කර තිබූ තැනින් ඉදිරියට රැගෙන යමින් ය.

ක්‍රිකට් පිට්යේ තමා හා එක්ව සටන් වදින තම වේගපන්දු සගයා පිළිබඳව මෝකල් දරන්නේ මෙවැනි අදහසකි.

ඔහුගේ ශක්තිය තමයි ආවේගය. ඩේල් සතුව තියෙන ආවේගය මටත් එක්කම ප්‍රමාණවත්. පන්දු යැවීමේ දී ඒ තරම් ආවේගයක් ඔහු සතුව තියෙනවා. රිකී පොන්ටින්, මයිකල් ක්ලාක්, ඇලෙස්ටෙයා කුක්, විරාත් කෝලි වගේ පිතිකරුවන් එක්ක සටන් කරන්න ඩේල් කැමතියි. ඔහු හැමවෙලේම කියන්නෙ තරගයට කලින් දවසෙ රාත්‍රියෙදි මේ පිතිකරුවන් තමන්ට මුහුණ දෙන එක ගැන බිහිසුණු සිහින දකින්න ඕන කියන එක”

කෙසේ නමුත් ස්ටේන්ගේ විශේෂත්වය වන්නේ කඩුලු දවා ගැනීම පමණක්ම නොවේ. විදෙස් තරග සංචාරවල දී තමාට නුපුරුදු දේශගුණික කලාපයන් වල නුපුරුදු තණතීරු මතා පවා තරග දිනවීමට ඔහු තුළ වූ හැකියාව ඉතා කලාතුරකින් පන්දු යවන්නකු සතු වන දක්ෂතාවයකි. විශේෂයෙන්ම ඉන්දියානු උපමහාද්වීපයේ වියළි තණතීරු මත ස්ටේන් දැක්වූ දස්කම් පැසසීමට ලක්විය යුතු මට්ටමේ ඒවාය.

2009/2010 තරග සමයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඉන්දීය සංචාරය අතරතුර ස්ටේන්ගේ පන්දු යැවීම ඒ අතරින් ඉදිරියෙන්ම පවතී. සංචාරක කණ්ඩායමකට ඉන්දියාවේ දී ටෙස්ට් තරගයක් ජයගැනීම ඉතා අපහසු බව අමුතුවෙන් කිවයුතු නොවේ. එම සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී ඉතා වියළි සහ පැතලි තණතීරුවක් තුළ ලකුණු 51ක් පමණක් ලබා දෙමින් ප්‍රබල ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ කඩුලු 7ක් දවා ගන්නට ස්ටේන් සමත් විය. එහි දී ඔහු දවා ගත් පිතිකරුවන් අතරට සචින් ටෙන්ඩුල්කාර් ද ඇතුලත් ය. ඉන් නොනැවතුන ස්ටේන් දෙවැනි ඉනිමේ ද කඩුලු 3ක් දවා ගන්නට සමත් වූයේ එම තරගයේ ජයග්‍රහණය දකුණු අප්‍රිකා කණ්ඩායම වෙත හිමි කර දෙමිනි.

සවනට කොඳුරා මරණය සිහි කළ කොදෙව් අකුණු සැරය

“මම ඉපදුණේ ක්‍රීඩාවට ඉතාම ලැදි පවුලක. පාසලේ දී පවා මම හැකි සෑම විටම ක්‍රීඩාවක නිරත වුනා…

පසුව 2012 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකාව සමත් වූ අතර එහි දී තරග තුනක් තුළ කඩුලු 15ක් දවා ගෙන ස්ටේන් ලබා දූන් දායකත්වය ඉතා විශාල ය.

පසුව 2012 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරයේ දී ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකාව සමත් වූ අතර එහි දී තරග තුනක් තුළ කඩුලු 15ක් දවාගෙන ස්ටේන් ලබා දූන් දායකත්වය ඉතා විශාල ය. 

එම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ග්‍රැහැම් ස්මිත්ගේ නායකත්වයෙන් යුතු දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. තරගාවලිය අවසානයේ දී අංක එකේ ටෙස්ට් කණ්ඩායම වෙත පිරිනැමෙන ටෙස්ට් ශූරතා සෙංකෝලය ඔවුන් වෙත පිරිනමන ලද අතර මේ අවස්ථාව ස්ටේන් ගේ ක්‍රීඩා දිවියේ ඉතා සුවිශේෂී අවස්ථාවකි.

කෙසේ වුවත් 2013 වසරෙන් පසුව වරින්වර ඉස්මතු වූ ආබාධ තත්ත්වයන් හේතුවෙන් තමාගේ බිහිසුණු පන්දු යැවීමේ රිද්මය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ස්ටේන්ට හැකි වූයේ නැත. නමුත් ඒ බාධා සියල්ල අතරින් ඉදිරියට ගමන් කළ ස්ටේන් 2017 වසරේ දී තම ටෙස්ට් දිවියේ 400 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර 2018 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී තම 421 වැනි කඩුල්ල දවා ගනිමින් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවා ගත් දකුණු අප්‍රිකානු පන්දු යවන්නා බවට පත් වූ ශෝන් පොලොක් හා සම වන්නට සමත් විය.

ස්ටේන් මහත් බලාපොරොත්තු දල්වා ගෙන සිටි 2019 ලෝක කුසලාන තරගාවලිය ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට අහිමි වී ගිය අතර ඒ සමඟින් ඔහු තීරණය කළේ 2020 වසරේ දී 20/20 ලෝක කුසලානයට සහභාගී වීමට නම් තමා මහන්සි වෙන ප්‍රමාණය කළමණාකරණය කර ගත යුතු බවයි. මේ නිසාම 2019 වසරේ දී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දෙන්නට ස්ටේන් තීරණය කළේය.

සමුගන්නා විට ටෙස්ට් කඩුලු 439ක් දවාගෙන වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් වේගපන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පස්වැනි ස්ථානය හිමි කර ගැනීමට ස්ටේන්ට හැකි විය. ඔහුගේ පන්දු යැවීමේ සාමාන්‍යය (Bowling Average) 22.95කි. එසේම ඔහුගේ කඩුලු දවා ගැනීමේ අනුපාතය (Strike Rate) 42.3ක් වන අතර එය එදා මෙදාතුර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නේකු වාර්තා කර ඇති හොඳම කඩුලු දවා ගැනීමේ අනුපාතයයි.

ටෙස්ට් සහ එක්දින තරග රටාවලට දැනටමත් සමු දී ඇති ස්ටේන්ගේ එකම අභිප්‍රාය මීළග 20/20 ලෝක කුසලානය වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කිරීමයි. ඔහුට එම අභිප්‍රාය ඉටුකර ගැනීමට හැකි වේවි ද යන පැනයට කාලය විසින් මතු දිනක පිළිතුරු සපයනු ඇත. ඒ කෙසේ වුවද ලොව එදා මෙදා තුර පහළ වූ විශිෂ්ටතම වේගපන්දු යවන්නන් කිහිප දෙනා අතරට ඔහුගේ නමද එක්වන බව නම් නොරහසකි..

Image Credits: Getty Images

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<