ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා සංචිතය නම් කරයි; නායකත්වය ශානකට

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

2949

මේ මස 13 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය අද (9) නම් කළා. එහි නායකත්වය ලබා දී  තිබෙන්නේ 29 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක වෙතයි.

ඒ අනුව කුසල් ජනිත් පෙරේරා සතු වූ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයේ වගකීම් ඔහුගෙන් ඉවත් කරන තිබෙනවා. තරගාවලියේ උපනායකත්වය ධනංජය ද සිල්වා වෙත ලබා දී තිබෙනවා.

2019 වසරේ ශ්‍රී ලංකාව සහභාගී වූ පාකිස්තාන සංචාරයේ දී පැවති විස්සයි විස්ස තරග තුනම ජයග්‍රහණය කරමින් එවකට විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයේ පසුවුණු පාකිස්තානය පරාජයට පත් කිරීමට ශානක ඇතුළු තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ නමුත් ඉන්පසුව පැවති කොදෙව් තරගාවලියේ දී ශානක හට වීසා ගැටලුවක් මතු වීම නිසාවෙන් ඔහුට කොදෙව්වන් සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියේ නායකත්වය මඟ හැරී ගිය අතර එහි දී ශ්‍රී ලංකාව මෙහෙයවනු ලැබුවේ ඇන්ජලෝ මැතිව්ස් විසිනි.

ඒ අනුව එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කරනු ලැබූ නුවන් ප්‍රදීප්, ඕෂද ප්‍රනාන්දු මේ සංචිතය සඳහා ඇතුළත් කර නොමැති නමුත් භානුක රාජපක්ෂ, ලහිරු උදාර ආබාධයකට ලක්ව දැන් සුවය ලබා සිටින ලහිරු කුමාර, අශේන් බණ්ඩාර සහ කසුන් රාජිත නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ ස්ථාන දිනාගෙන තිබෙනවා.

නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ ආදී සිසුවෙක් වන 27 හැවිරිදි ලහිරු උදාර ශ්‍රී ලංකා සංචිතයක් සඳහා කැඳවා තිබෙන පළමු අවස්ථාව මෙයයි. කඩුලු රකින පිතිකරුවෙක් වන ඔහු නිමා වූ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දී NCC කණ්ඩායම නියෝජනය කරමින් ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණියා. 

එහි දී ඔහු තරග 9කට ක්‍රීඩා කරමින් ඉනිම් 14ක දී  ලකුණු 1039ක් (ශතක 3ක් සහ අර්ධ ශතක 6ක්) ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභී පිතිකරුවා බවට පත්වුනේ තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට ද පත්වෙමිනි.

පවතින COVID-19 තත්වය නිසාවෙන් පුහුණුවීම් සඳහා දැල තුල පන්දු යවන්නන් නොමැති වීම සහ තවත් කරුණු කාරනා කිහිපයක් නිසාවෙන් මේ සංචිතය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකු ඇතුළත් කර තිබෙන නමුත්, මේ සංචිතයෙන් ක්‍රීඩකයින් 18 දෙනෙකු එක්දින තරගාවලිය වෙනුවෙන් වෙනම ම තෝරාගැනීමට නියමිත බව ද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ලහිරු උදාර, මිනෝද් භානුක, පැතුම් නිස්සංක, චරිත් අසලංක, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ධනංජය ලක්ෂාන්, ඉසුරු උදාන, බිනුර ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, ඉශාන් ජයරත්න, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ප්‍රවීන් ජයවික්‍රම.

*සැ.යු – මේ සංචිතය ක්‍රීඩා අමාත්‍යතුමාගේ අනුමැතිය සඳහා යොමු කර තිබෙන නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවමත් නිල වශයෙන් මෙය දැනුම් දී නැහැ.

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 13
  • දෙවැනි එක්දින තරගය – ජූලි 16
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 18
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<