මලල ක්‍රීඩාවේ දොරගුළු ප්‍රේක්ෂකයන්ට වැසේ

76

පවතින කොරෝනා වයිරස තත්වය සැලකිල්ලට ගනිමින් මලල ක්‍රීඩා තරගාවලි නැවත ආරම්භ කළ පසු එම තරගාවලි බොහෝ විට ප්‍රේක්ෂකයන් රහිත හිස් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට සිදු වන බව ලෝක මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශ කරන ලදි.

වෙනස් වූ ලෝක මලල ක්‍රීඩා කාලසටහන එළිදැක්වේ

මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ මලල ක්‍රීඩාව යනු ක්‍රීඩාංගණයේ සිට නැරඹිය යුතු ක්‍රීඩාවක් වුවත්, මෙම පවතින තත්වය යහපත් අතට හැරෙන තුරු රූපවාහිනිය ඔස්සේ තරග නැරඹීමට ප්‍රේක්ෂකයා තාවකාලිකව හෝ පුරුදු විය යුතු බවයි.

“ලෝක ප්‍රජාව සහ සෞඛ්‍ය සංවිධාන විසින් අපට ලබා දෙන උපදෙස් නොසලකා හැරීමට නොහැකියි. මෙය දිගුකාලීන විසඳුමක් නොවන නමුත් ක්‍රීඩාව මිය යාමට නොදී රැක ගැනීමට අපට යමක් කළ යුතු වනවා.”

“අප දුටුවා පාපන්දු ක්‍රීඩාව ඉක්මනින්ම නැවත ආරම්භ වන ලකුණු. අප මලල ක්‍රීඩකයන් නැවතත් පිටියට ගෙන ඒමට යමක් කළ යුතුයි, අවසන් නොවූ තරගාවලි අවසන් කළ යුතුයි, අවම වශයෙන් කිසියම් හෝ තරගයක් සඳහා අප විසින් සැලසුම් ගොඩ නැගිය යුතුයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ලොව පුරා පැතිර ගිය වසංගත තත්වය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ තරගාවලි රැසක් කල් දැමීමට සිදු වූ අතර ක්‍රීඩා කටයුතු නැවත ඇරඹීමේ අරමුණින් අගෝස්තු මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය අන්තර්ජාතික මලල ක්‍රීඩා කාලසීමාව ලෙස වෙන් කිරීමට ලෝක මලල ක්‍රීඩා සංගමය පසුගිය දා තීරණය කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<