පාසල් රග්බි පිටියට යළිත් පණ දෙමින් B කොටසේ ශූරතාවය පිළියන්දලට

ඩයලොග් පාසල් සත් සමාජික රග්බි තරගාවලිය 2021

631
Dialog Schools Rugby 7s Western Province

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙන් දිගු කාලයක් විවේකීව පැවති පාසල් රග්බි පිටිය අද (18) නැවතත් පණ ලැබුවා. ඒ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කළ ඩයලොග් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියත් සමඟින්.

දෙසැම්බර් 18 හා 19 දිනවල දී බස්නාහිර පළාත සඳහා වන තරගාවලිය ක්‍රියාත්මක වන අතර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දීයි.

බස්නාහිර පළාත් තරගාවලිය A කාණ්ඩය හා B කාණ්ඩය ලෙස දෙකට බෙදා තිබුණු අතර අද පැවැත්වුණේ B කාණ්ඩයේ තරගාවලියයි. එහි දී B කාණ්ඩයේ කුසලාන ශූරතාවය දිනා ගන්නට පිළියන්දල මාධ්‍ය විද්‍යාලය සමත් වුනා.

පළමු දිනයේ තරග ආරම්භ කරමින් මහානාම විද්‍යාලය, සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනා.

ඉන්පසුව පානදුර සුමංගල විද්‍යාලය හමුවේ දරුණු පරාජයකට මුහුණ දෙන්නට පියරතන විද්‍යාලයට සිදු වූ අතර පිළියන්දල මාධ්‍ය විද්‍යාලය නාලන්ද විද්‍යාලය හමුවේ නිතරගයෙන් ජයගග්‍රහණය ලබා ගන්නට සමත් වුනා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පහසුවෙන් සාන්ත ජෝන් විද්‍යාලය පරාජය කරන්නට සමත් වුනා.

මහානාම විද්‍යාලය 36 00 පියරතන විද්‍යාලය
සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය 00 17 පානදුර සුමංගල විද්‍යාලය
සාන්ත ජෝන් විද්‍යාලය 05 24 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

පළමු වටයේ අවසන් තරග කිහිපය ඉතා තරගකාරී වූ අතර තියුණු තරගයකට පසුව කේරි විද්‍යාලයීය ක්‍රීඩකයින් විසින් සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය පරාජය කරන්නට සමත් වුනා.

පානදුර සුමංගල විද්‍යාලය මොරටු මහා විද්‍යාලය හමුවේ ලකුණු දෙකකින් පරාජය වූ අතර අවසන් මොහොතේ දැක්වූ දක්ෂතා නිසාවෙන් කෙරී විද්‍යාලය මහානාම විද්‍යාලය පරාජය කරමින් කුසලාන ශූරතාවයට පිවිසුණා. පියරත්න විද්‍යාලය ලකුණු රැස් නොකරම මොරටු විද්‍යාලය හමුවේ පරාජයට පත්වුනා.

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය 07 14 කේරි විද්‍යාලය
පානදුර සුමංගල විද්‍යාලය 17 19 මොරටු විද්‍යාලය
මහානාම විද්‍යාලය 12 13 කේරි විද්‍යාලය
මොරටු විද්‍යාලය 19 00 පියරතන විද්‍යාලය

බඳුන අවසන් පූර්ව වටයේ තරගයක දී සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය උත්සාහක දිනුමකින් පරාජය කරන්නට මහානාම විද්‍යාලය සමත් වුනා. නාලන්දා විද්‍යාලයට එරෙහි තරගයෙන් නිතරග ජයක් ලැබූ සාන්ත ජෝන් විද්‍යාලය මහානාම විද්‍යාලය සමඟ බඳුන අවසන් මහා තරගයට පිවිසුණා.

කුසලාන අවසන් පූර්ව වටය ඉතා උද්වේගකර එකක් වූ අතර තියුණු තරගයකට පසුව මොරටු මහා විද්‍යාලය පරාජය කරන්නට කේරි විද්‍යාලය සමත් වුනා. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හමුවේ අවසන් මොහොතේ ජයග්‍රහණය වාර්තා කරන්නට පිළියන්දල මාධ්‍ය  විද්‍යාලය සමත් වුනා.

කුසලාන අවසන් පූර්ව වටය

කේරි විද්‍යාලය 10 07 මොරටු විද්‍යාලය
සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 12 17 පිළියන්දල මාධ්‍ය විද්‍යාලය

පලිහ ශූරතාවයේ අවසන් මහා තරගය – සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය හා පියරතන විද්‍යාලය

සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නංගර විද්‍යාලය අලංකාර උත්සාහක දිනුමක් සමඟින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර අනතුරුව ක්‍රියාත්මක වූ පියරතන විද්‍යාලය උත්සාහක දිනුමක් වාර්තා කළත්, කන්නංගර ක්‍රීඩකයෝ ඉක්මන් උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කරමින් ලකුණු 19-05ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සමත් වුනා.


බඳුන අවසන් මහා තරගය – සාන්ත ජෝන් විද්‍යාලය හා මහානාම විද්‍යාලය

සාන්ත ජෝන් විද්‍යාලය ඉක්මන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් මහානාම විද්‍යාලයට ප්‍රබල පීඩනයක් එල්ල කළත්, පළමු අර්ධය අවසානවත්ම අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගන්නට මහානාම විද්‍යාලය සමත් වුනා.

මහානාම විද්‍යාලය දෙවැනි අර්ධය ආරම්භයේ දී ම සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළ අතර දෙවැනි අර්ධයේ මහානාම විද්‍යාලය ක්‍රීඩකයින් හයකට සීමා වුනත් බඳුන ශූරතාවය ඔවුන්ගෙන් උදුරා ගන්නට සාන්ත ජෝන් කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. තරගයේ අවසන් ලකුණු තත්වය දිස්වුණේ ලකුණු 21-05ක් ලෙසයි.


පලඟ ශූරතාවයේ අවසන් මහා තරගය –  සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා මොරටු විද්‍යාලය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය මේ තරගයේ පළමුවෙන් ලකුණු රැස් කළා. අනතුරුව ඔවුන් පළමු අර්ධය අවසානයේ දී සිය දෙවැනි උත්සාහක දිනුමත් වාර්තා කළේ තරගයේ පෙරමුණ ගනිමිනුයි.

දෙවැනි අර්ධයේ දී ද මොරටු විද්‍යාලය අන්දමන්ද කළ සාන්ත බෙනඩික්ට් ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුම් තුනක් රැස් කළේ තරගයේ අවසන් ලකුණු තත්වය ලකුණු 29-00ක් බවට පත් කරමිනුයි.


කුසලාන අවසන් මහා තරගය – පිළියන්දල මාධ්‍ය විද්‍යාලය හා කෙරී විද්‍යාලය

අලංකාර පන්දු හුවමාරු කිරීම් කිහිපයකින් පසුව තරගයේ පළමු මිනිත්තුවේ දී ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට පිළියන්දල මාධ්‍ය විද්‍යාලය සමත් වුනා. පළමු අර්ධය අවසන් වීමට මොහොතක් තිබිය දී මීටර 22 සීමාවේ සිට පන්දුව ප්‍රතිවාදී ධවල රේඛාව තෙක් රැගෙන ගිය පිළියන්දල ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයට ගියේ ලකුණු 17-00ක් ලෙසයි.

දෙවැනි අර්ධය ධනාත්මකව අරඹන්න කේරි විද්‍යාලය සමත් වුනේ ලකුණු පරතරය ලකුණු 12ක් දක්වා අඩු කරමිනුයි. කෙසේ වෙතත් 12 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ පිළියන්දල ක්‍රීඩකයෝ තවත් උත්සාහක දිනුමක් රැස් කරමින් තරගය තමන් සතුකර ගනිද්දී, කේරී ක්‍රීඩකයෝ අවසන් මිනිත්තුවේ රැස් කළ උත්සාහක දිනුම පිළියන්දල ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණය ආපසු හරවන්නට ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව බස්නාහිර පළාත් B කාණ්ඩයේ ශූරතාවය දිනා ගන්නට පිළියන්දල මාධ්‍ය විද්‍යාලය සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: පිළියන්දල මාධ්‍ය විද්‍යාලය 24 (4T, 2C) – 12 (2T, 1C) කේරි විද්‍යාලය

  • තරගාවලියේ වීරයා – පිළියන්දල මාධ්‍ය විද්‍යාලයේ ඉශාන් තරිඳු

ඩයලොග් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ බස්නාහිර පළාත් A කාණ්ඩයේ තරග හෙට (19) පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සජීව විකාශය හෙටත් උදෑසන 8.50 සිට ThePapare.com ඔස්සේ ඔබට නැරඹිය හැකි.

තරගාවලියේ සියලු තතුවිත්ති සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<