බ්‍රැඩ්බි පලිහ සහ පාසල් රග්බි ක්‍රීඩාවේ ආරම්භය තවමත් වැට උඩ

828

මේ වන විට අවිනිශ්චිත මට්ටමක පවතින කොළඹ රාජකීය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාල අතර වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි සංග්‍රාමය මෙම වසරේ දී පැවැත්වීමට අදාළව තීරණය කිරීමේ දී විද්‍යාල දෙකේ බලධාරීන් හට සම්පූර්ණයෙන්ම රජයේ බලධාරීන් ලබා දෙන තීරණ පිළිපැදීමට සිදු වනු ඇත. 

මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව එම විද්‍යාල දෙකේම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නැවතත් පාසල් ක්‍රීඩා කටයුතු ආරම්භ කරනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන අතර එසේ සිදුවුවහොත් බ්‍රැඩ්බි පලිහ සංග්‍රාමය මෙම වසරේ අවසානයට ආසන්නයේ පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මේ පිළිබඳව අවසන් තීරණය ලබා ගැනීමට පෙර මීට සම්බන්ධ අමාත්‍යංශ ත්‍රිත්වය වන සෞඛ්‍ය, ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශ විසින් පාසල් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් එම පාසල් දෙකේ නිලධාරීන් බලා සිටින නමුත් සුපුරුදු පරිදි තරග වට 2ක් යටතේ අවසාන විකල්පයක් ලෙස ප්‍රේක්‍ෂකයින් රහිතව හෝ මෙම තරගය මෙම වසරේ දී පැවැත්වීමට ඔවුන් දැඩි උනන්දුවකින් පසුවේ. 

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යංශයේ මූලාශ්‍රවලට අනුව රග්බි ක්‍රීඩා කටයුතු නැවතත් ආරම්භ වීම මෑතක දී සිදුවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත වන අතර ස්පර්ශ ක්‍රීඩාවක් වීම හේතුවෙන් ඉදිරියේ දී ආරම්භ වනු ඇතැයි අපේක්‍ෂා කරන ක්‍රීඩා ලැයිස්තුවේ අවසාන ස්ථානයට පත්ව ඇත්තේ ද රග්බි ක්‍රීඩාව යි. 

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ නිලධාරීන් ඔවුන්ගේ වාර්ෂික දින දර්ශකයේ සැලසුම් කර ඇති ඉසව්වලින් අවම වශයෙන් ඉසව් 2ක් හෝ මෙම වසරේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා (27) මුණගැසුණු අතර එහි දී තීරණය වී ඇත්තේ මේ වන විට නවතා දමා තිබෙන වයස අවුරුදු 19න් පහළ ‘Dialog’ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය සහ තවත් එක් කනිෂ්ඨ වයස් කාණ්ඩ තරගාවලියක් මෙම වසර අවසාන වීමට පෙර පැවැත්වීමට අදාළ යෝජනාවක් ක්‍රීඩා, සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යංශවලට ඉදිරිපත් කිරීමටයි. එම අමාත්‍යංශවලින් මේ කෙරෙහි ධනාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්‍ෂා කෙරේ.

කෙසේ නමුත් මීට අදාළව ද පාසල් රග්බි පාපන්දු සංගමය තරමක් අවිනිශ්චිත තත්වයක පසුවන්නේ අ.පො.ස. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග මෙම සැප්තැම්බර් සහ එළඹෙන ජනවාරි මාසවල දී පැවැත්වීමට මේ වන විට දින නියම කර තිබීමත් සමඟයි. 

විශ්වාස කටයුතු ආරංචි මාර්ග හරහා අනාවරණය වන පරිදි ‘Dialog’ අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ලෙස පවත්වනු ලබන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය දස සාමාජික තරගාවලියක් ලෙස පවත්වා ගෙන යාමේ ශක්‍යතාවය පිළිබඳව පාසල් රග්බි පාපන්දු සංගමය මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුකර ඇති අතර එය උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අතර ඇති නිදහස් කාල සීමාව වන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී පැවැත්වීමට අපේක්‍ෂා කෙරේ. 

තවත් කියවන්න;

ඔවුන් මෙම වසරේ දී පැවැත්වීමට අපේක්‍ෂා කරන අනෙක් තරගාවලිය වන්නේ වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් රග්බි තරගාවලිය වන අතර ඒ සඳහා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සහභාගී නොවීම හේතුවෙන් එය මෙම සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට ඔවුන් බලාපොරොත්තු වේ. 

මේ අතරතුර ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යංශවල බලධාරීන් පාසල් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළව සාකච්ඡා කිරීම සඳහා පසුගිය බදාදා (26) තීරණාත්මක සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර එය සාර්ථක ලෙස අවසන් වී ඇත්තේ එම ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීමේ දී සංවිධායකයින්, පවත්වා ගෙන යන්නන් මෙන්ම ඊට සහභාගී වන්නන් ද අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගවලට අදාළ චක්‍රලේඛයක් හෝ මාර්ගෝපදේශ ඉදිරි සතිය තුළ නිකුත් කිරීමට පෙර මීට අදාළ යෝජනාව ඉදිරියට රැගෙන යාම උදෙසා අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට ඔවුන් සියලු දෙනා එකඟ වීමත් සමඟයි. 

සෞඛ්‍ය, ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යංශ වල බලධාරීන්ගෙන් පාසල් කණ්ඩායම්වල පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට කොළ එළිය ලැබෙන තුරු බලා සිටින පාසල් රග්බි පාපන්දු සංගමයට මෙය සුබවාදී ආරංචියකි. ඒ අනුව මෙම සැප්තැම්බර් මාසය තුළ දී ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්‍ෂාවෙන් පසුවේ. 

ඔවුන් බලාපොරොත්තු වන පරිදි එය එසේ සිදුවුවහොත් මෙම වසර තුළ දී පැවැත්වීමට සැලසුම් කර සිටින තරගාවලි ද්විත්වය පැවැත්වීමේ හැකියාව පිළිබඳව ද ඔවුන්ට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකි වනු ඇති අතර ඒ හරහා 76 වැනි බ්‍රැඩ්බි පලිහ සංග්‍රාමය ද පැවැත්වීමට රාජකීය සහ ත්‍රිත්ව විද්‍යාලවලට හැකියාව ලැබෙනු ඇත.

නමුත් ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරීන් ප්‍රකාශ කරන අන්දමට පාසල් ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ කිරීම ක්‍රම ක්‍රමයෙන් සිදුවන්නක් වනු ඇති අතර එහි දී ප්‍රමුඛතාව ලබා දෙනු ඇත්තේ කේවල සහ ස්පර්ශ නොවන ක්‍රීඩා ඉසව්වලට යි. ඒ අනුව එහි දී රග්බි ක්‍රීඩාවට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ නැත. 

කෙසේ නමුත් ක්‍රීඩා අමාත්‍යංශයට සම්බන්ධ ක්‍රීඩා වෛද්‍ය විශේෂඥවරියක් වන වෛද්‍ය දමින්දා අත්තනායක පවසා සිටින අන්දමට පාසල් තලය තුළ ස්පර්ශ ක්‍රීඩාවන් කිහිපයක්ම ආරම්භ වී තිබීමත් සමඟ පාසල් රග්බි තරග කටයුතු ආරම්භ කිරීමට ද හැකියාවක් ලැබීමට ඉඩ ඇති නමුත් එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින බැවින් ඊට අදාළ නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමේ හැකියාවක් නොමැත. 

http://www.sundaytimes.lk/ වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<