මෙරට රග්බි ක්‍රීඩාවේ ප්‍රබලයින් 11 දෙනෙකුට ගෞරවය පුද කෙරේ

258

මෙරට රග්බි ක්‍රීඩාවේ ප්‍රගමනය උදෙසා සුවිසල් මෙහෙවරක් ඉෂ්ට සිද්ධ කළ ප්‍රබල චරිත රැසක් පසුගිය බදාදා (26) සන්ධ්‍යාවේ දී කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයට එක්රැස්ව සිටියේ ශ්‍රී ලංකා රග්බි වාර්ෂික මහා සභා රැස්වීම සඳහා සහභාගී වීමේ අරමුණෙනි.

>>සත් සාමාජික සුපිරි තරුව CR කණ්ඩායම හැර යයි!<<

මෙරට රග්බි ක්‍රීඩාවේ ඉරණම ඉදිරි කාලසීමාව තුල දී කුමන ආකාරයෙන් විසඳෙනු ඇති දැයි තිබූ ප්‍රශ්නාර්ථයට සාර්ථක පිළිතුරක් ලබා දුන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ නව සභාපති රිස්ලි ඉල්යාස් මහතා, එහි දී කණ්ඩායමක් වශයෙන් ඔවුන්ගේ අනාගත සැලසුම් සහ බලාපොරොත්තු සාර්ථක කරගන්නා අයුරු සම්බන්ධයෙන් සවිස්තරාත්මක විග්‍රහයක් සිදු කළේය.

ඉදිරි වසර සඳහා අභිනවයෙන් පත් වූ නව කාරක සභික මඬුල්ල සහ එම තනතුරු සඳහා නම් යෝජනා වූ සෙසු පිරිස කෙරෙහිද මෙහි දී කාගේත් අවධානය යොමු විය. නමුත් එදින මේ සියල්ලන්ටම වඩා කැපී පෙනුණේ මෙරට රග්බි ක්‍රීඩාවේ දැවැන්ත චරිත 11කට ශ්‍රී ලංකා රග්බි යාවජීව සාමාජිකත්වය පිරිනැමීමේ සුවිශේෂී අවස්ථාවයි. 

එසේ ගෞරවයට පාත්‍ර වූ අයවලුන් අතරින් හිෂාම් අබ්ඩීන්, ප්‍රියන්ත ඒකනායක සහ හිටපු සභාපති අසංග සෙනවිරත්න යන අයගේ නාමයන් ඉහළින්ම කියැවිණි.

>>මහ සභා රැස්වීම අවසන්; මහනුවර සභාපති අසුන නොවෙනස්<<

යාවජීව සාමාජික නාම ලැයිස්තුව:

  • C. P. P. අබේගුණවර්ධන 
  • ජූඩ් පිල්ලෙයි (ලේකම් – ශ්‍රී ලංකා රග්බි)
  • අසංග සෙනවිරත්න 
  • හිෂාම් අබ්ඩීන්
  • ප්‍රියන්ත ඒකනායක
  • නසීම් මොහොමඩ් (උපසභාපති – ශ්‍රී ලංකා රග්බි)
  • M. හෆීස් මාර්සෝ
  • නීල් විජේරත්න 
  • රියර් අද්මිරාල් H. A. U. හෙට්ටිආරච්චි 
  • ජෝන් රුද්‍රා
  • S. P. ද සිල්වා

මෙරට රග්බි ක්‍රීඩාව තවදුරටත් නඟා සිටුවීම වෙනුවෙන් සුවිසල් වගකීමක් ඒ අනුව මෙම යාවජීව සාමාජිකයින් 11 දෙනා වෙත පැවරෙන අතර අබ්ඩීන් සහ ඒකනායක වැනි අත්දැකීම් බහුල, රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති ක්‍රීඩා තරු එම අභියෝගය ජය ගැනීම සඳහා ඔවුන්ගේ උපරිම දායකත්වය ඉදිරි කාලසීමාවේ දී ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<