Super Rugby අවසන් වෙඩි මුරය Highlanders කණ්ඩායමෙන්

123

Investec Super Rugby Aotearoa 2020 තරග වාරයෙහි අවසානය සනිටුහන් කරමින් ක්‍රියාත්මක වූ තරගයෙන් පහසු ජයක් අත්පත් කරගැනීමට සත්කාරක Highlanders කණ්ඩායම අද (15 සමත් විය. ඔවුන් අතින් පරාජයට පත්වූයේ ප්‍රබල Hurricanes කණ්ඩායමයි. අවසන් ලකුණු සටහන දිස්වූයේ ලකුණු 38-21ක් ලෙසිනි.

දින 100ක කාලයක් පුරාවට කිසිදු COVID-19 ආසාදිත පුද්ගලයෙකු නවසීලන්තය තුලින් වාර්තා නොවූ හෙයින් ක්‍රීඩාංගණ තුලට පැමිණ සජීවීව තරග අත්දැකීම් බෙදාහදා ගැනීමේ අවස්ථාව ක්‍රීඩාලෝලීන් හට සලසා දීමට Super Rugby තරගාවලි සංවිධායක කමිටුව  පියවර ගෙන තිබුණි. නමුත් නැවත වතාවක් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් ඉස්මතු වී ඇති නිසාවෙන්  අද තරගය දියත් කර තිබුණේ ප්‍රේක්ෂකයින්ගෙන් තොර හුදකලා පසුබිමක සිටයි.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි කාල වේලාවක් ගත නොකළ දෙපිලේම ක්‍රීඩකයින් පළමු මිනිත්තු 10 තුල දී ප්‍රවර්තිත උත්සාහක දිනුම බැගින් වාර්තා කළේ තියුණු තරගයක පෙරනිමිති කියාපාමිනි. Hurricanes වෙනුවෙන් Vince Aso උත්සාහක දිනුම් රේඛාව අභිබවා දිව යද්දී Highlanders ඉහළින් ඔසවා තැබුවේ Ngani Punivai විසිනි. (Highlanders 07 – 07 Hurricanes)

කෙටි වේලවක් පන්දුව දෙපසේම ග්‍රහණයට නතු වෙද්දී එම නිහැඬියාව බිඳ දැමීමට මුල් වූ Hurricanes ක්‍රීඩකයින් දිනයේ දෙවැනි ප්‍රවර්තිත උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ Jamie Booth ආරක්ෂිතව පන්දුව ධවල රේඛාවට ඔබ්බෙන් පතිත කිරීමත් සමඟිනි. ඊට සාර්ථකව පිළිතුරු දුන් Highlanders නායක Ash Dixon අනගි උත්සාහක දිනුමක් තම කණ්ඩායම වෙත දිනා දුන්නේ පළමු අර්ධය සාර්ථක සටහනකින් නිමාවට පත් කරමිනි. (Highlanders 14 – 14 Hurricanes)

පළමු අර්ධය: Highlanders 14 (2T,2C) – 14 (2T,2C) Hurricanes 

සම ලකුණු තත්වයෙන් ආරම්භ වූ දෙවන අර්ධය හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගනු ලැබුවේ සත්කාරක Highlanders ක්‍රීඩකයින් තරගයේ ඉරණම උඩුයටිකුරු කරමින් තරගයේ වැඩි වාසි තම කණ්ඩායම සතු කරගැනීමට සමත්කම් දැක්වීමත් සමඟිනි. ඒ අනුව ආක්‍රමණශීලී උපාය මාර්ගයන් අනුගමනය කරමින් ප්‍රතිවාදී Hurricanes වෙත පීඩනය යොමු කිරීමට ඔවුහු වගබලා ගත්හ. 

රග්බි පුවත් සිංහලෙන්:

 

 

 

Off-side වරදට හසු වීම නිසාවෙන් උදා වූ දඬුවම් පහර සාර්ථකව ඉලක්කය වෙත යොමු කළ Highlanders ක්‍රීඩක Josh Ioane ඉන් අනතුරුව 46 වැනි මිනිත්තුවේ දී උදා වූ ප්‍රවර්තනයද සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කළේ Mitchael Collinsගේ දැකුම්කළු උත්සාහක දිනුමට නිසි වටිනාකමක් ලබා දෙමිනි. ඉන් අනතුරුව 56 වැනි මිනිත්තුවේ දී දඬුවම් උත්සාහක දිනුමකින් ලකුණු පරතරය තවත් ඉහළ නංවා ගත් Highlanders කණ්ඩායම තරගයේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට සමත් විය. (Highlanders 31 – 14 Hurricanes)

ප්‍රබල Hurricanes ක්‍රීඩක Ardie Savea හට කහ කාඩ්පතකින් දඬුවම් කිරීමට ප්‍රධාන විනිසුරු ගත් තීරණයත් සමඟින් පන්නරය ලැබූ Highlanders ක්‍රීඩකයින් අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත්තේ තවත් එක් උත්සාහක දිනුමකින් ප්‍රතිවාදීන් හට සංග්‍රහ කරමිනි. Mitch Hunt එම ප්‍රවර්තිත උත්සාහක දිනුමේ හිමිකාරිත්වය තමන් සතු කරගත්තේය. (Highlanders 38 – 14 Hurricanes)

බලාපොරොත්තු සුන් වී ගිය නමුත් අවසන් මොහොතක දක්වා සටන අතනොහැරි Hurricanes දිනයේ අවසන් උත්සාහක දිනුම වාර්තා කිරීමේ ගෞරවය හිමි කරගත්තේ Peter Umaga-Jensenගේ දක්ෂතාවන්ට නිසි අගයක් ලබා දෙමිනි. 

ඒ අනුව අවසන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට Hurricanes සමත් වූ අතර Highlanders කණ්ඩායම හට මෙවර තරග වාරය නිමාවට පත් කිරීමට සිදු වූයේ සමස්ත ලකුණු සටහනේ සිව්වැන්නා ලෙසයි. (Highlanders 38 – 21 Hurricanes)

අවසන් ලකුණු තත්වය: Highlanders 38 (4T,1PT, 4C,1P) – 21 (3T,3C) Hurricanes 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

Highlanders – Ngane Punivai (1T), Ash Dixon (1T), Michael Collins (1T), Mitchell Hunt (1T,1C), Josh Ioane (3C,1P)

Hurricanes – Vince Aso (1T), Jamie Booth (1T), Peter Umaga-Jensen (1T), Jordie Barrett (3C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<