නාවික හමුදාව සහ නිව් යංග්ස් කණ්ඩායම් ජයගනී

287
Dialog champions league week 1

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලාන තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (25) දිනය තුළ සාර්ථක ලෙස නිමාවට පත්විය. මෙම තරඟ සියල්ලම  “ B”  කාණ්ඩයේ තරඟ ලෙස පැවැත්විණි. මෙහිදී නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ නිව් යංග්ස් පාපන්දු සමාජය ජයග්‍රහණය කිරීමට සමත් වියඑක් තරඟයක් ජය පරාජයෙන් තොරව නිමාවිය.

නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව සුපර්සන් ක්‍රීඩා සමාජය

කළුතර වර්නන් ෆර්නැන්ඩෝ ක්‍රීඩා පිටියේදී පැවැති මෙම තරඟය ඊයේ දිනයේ කාගේත් අවධානය දිනාගත් තරඟයක් වූ අතර නාවික හමුදා කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය.

සවස 3.30 පමණ විනිසුරුතුමාගේ නලා නාදය සමඟ ආරම්භ වූ මෙම තරගයේ මුල සිටම තම ආධිත්‍යය පතුරුවමින් ක්‍රීඩා කිරීමට නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමත් විය. බව සනාථ කරමින් තරගයේ 3 වන මිනිත්තුවේදීම නාවික හමුදා ක්‍රීඩක චතුරංග සංජීව විසින් දැල වෙත එල්ල කල පළමු පහරම දැල්රකින්නා ගේ දුර්වලතාවය නිසා එය ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට හැකිවිණි.

අනතුරුව තරගයේ 24 වන මිනිත්තුවේදී ජෙරම් ප්‍රනාන්දුගේ සහය ඇතිව නිර්මාල් විජේතුංග විසින් එල්ල කරන ලද ගෝලයත් සමඟ ගෝල 2-0 ක් ලෙස නාවික කණ්ඩායම පෙරමුණේ පසුවිය.

පළමු අර්ධය  2-0 නාවික හමුදා කණ්ඩායම පෙරමුණේ

නාවික කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය දෙවන අර්ධයේ දී තරමක් පාලනය කරගැනීමට සුපර්සන් කණ්ඩායමට හැකිවිණි. එසේ වුවද තරඟය නිමාවට තවත් මිනිත්තු කිහිපයක් තිබියදී එනම් 86 වන මිනිත්තුවේදී නාවික ක්‍රීඩක ධම්මික රත්නායක විසින් ගෝලයක් ලබාගන්නා ලදි.

මුළු කාලය තුළ ගෝල  3-0 ක් ලෙස නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජය හිමිවිය

ThePapare.com තරගයේ වීරයා චතුරංග සංජීව (නාවික හමුදා කණ්ඩායම )

ගෝල ලබාගැනීම්
චතුරංග සංජීව 3’, නිර්මාල් විජේතුංග 24’, ධම්මික රත්නායක 86’
සහය
චතුරංග සංජීව , ජෙරම් ප්රනාන්දු
අනතුරු ඇගවීම්
කහ කාඩ්පත් – මොහොමඩ් ෆාහීම් (සුපර්සන්), චතුරංග සංජීව (නාවික හමුදා )


තිහාරිය යූත් ක්‍රීඩා සමාජයට  එදිරිව ජාවාලේන් ක්‍රීඩා සමාජය

තරගය කැළණිය පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වූ අතර ගෝල 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරඟය ජාවාලේන් කණ්ඩායමට පහසු තරඟයක් වේ යැයි සිතුවද තිහාරිය යූත් කණ්ඩායම ද කරට කර තරඟයක නිරත විය. මෙම තරඟයේ දී පළමු අර්ධය තුළ කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබාගැනීමට නොහැකි විය.

පළමු අර්ධය 0-0 ක් ලෙස අවසන් විය.

දෙවන අර්ධයේ තරඟය ආරම්භ වී මිනිත්තු කිහිපයක් යත්ම ජාවාලේන් කණ්ඩායමේ මොහොමඩ් අලීම් 51 වන මිනිත්තුවේදී ගෝලයක් ලබාගැනීමට සමත් විය. අනතුරුව තරඟය ඉතා උණුසුම්කාරී ලෙස පැවැත්විණි. දෙපිලටම ගෝල ලබාගැනීමට ආසන්නව තිබූ අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරෙන ලදි. නමුත් අවසානයේ දී තරගයේ අතිරේක 91 වන මිනිත්තුවේදී ජවාලේන් කණ්ඩායම මවිත කරමින් තිහාරිය යූත් කණ්ඩායමේ ක්‍රීඩක කේජී. පෙරේරා විසින් ගෝලයක් ලබාගනිමින් තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්කරන ලදි.

මුළු කාලය තුළ 1-1 ක් ලෙස තරඟය ජය පරාජයෙන් තොරයි.

ThePapare.com තරගයේ වීරයා පී. ටී. මද්දුබුවාරුච්චි (තිහාරිය යූත්)

ගෝල ලබාගැනීම්
මොහොමඩ් අලීම් 51’ (ජාවාලේන්), කේ.ජී. පෙරේරා 91’ (තිහාරිය යූත් )
අනතුරු ඇගවීම්
කහ කාඩ්පත් – පී. ටී. මද්දුබුවාරුච්චි (තිහාරිය යූත් ), චාමර ද සිල්වා (ජාවාලේන් ), ෆාහිම් නියාමින් (ජාවාලේන් )


නිව් යංග්ස් පාපන්දු සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය

කොළඹ පොලිස් පිටියේදී පැවති මෙම තරඟයෙන් ගෝල 3-1 ජයග්‍රහණයක් ලබාගැනීමට නිව් යංග්ස් පාපන්දු සමාජ කණ්ඩායම සමත් විය.

සවස 3.30 පමණ ආරම්භ වූ මෙම පාපන්දු තරඟය මුල සිටම නිව් යංග්ස් කණ්ඩායම දක්ෂ ලෙස පොලිස් කණ්ඩායමට එදිරිව ක්‍රීඩා කරන ලදි. තරඟය ආරම්භ කර 8 වන මිනිත්තුවේදී නිව් යංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ  හසිත ප්‍රියංකර දැල් රකින්නා මවිත කරමින් ගෝලයක් ලබාගත් අතරඑයින් අනතුරුව  නිව් යංග්ස් කණ්ඩායම නව ජවයක් සහිතව ක්‍රීඩා කරන ලදි. නැවතත් තරඟයේ 32 වන මිනිත්තුවේදී නිව් යංග්ස් කණ්ඩායම වෙනුවෙන් අන්කමා ජෝජ් ගෝලයක් ලබාගැනීමට සමත් විය.

පළමු අර්ධය ගෝල 2-0 ක් ලෙස  නිව් යංග්ස් කණ්ඩායම පෙරමුණේ

දෙවන අර්ධය අාරම්භ වී 68 වන මිනිත්තුවේදී නිව් යංග්ස් කණ්ඩායම වෙනුවෙන් තම දෙවන ගෝලය ලබාගැනීමට හසිත ප්‍රියංකර සමත් විය. වන විට ගෝල 3-0 ක් ‍ලෙ නිව් යංග්ස් කණ්ඩායම පෙරමුණේ පසුවිය. තරගයේ අවසන් මොහොතේ දී පොලිස් කණ්ඩායම වෙනුවෙන්  ලබා ගත් එකම ගෝලය 90+3 වන මිනිත්තුවේදී සම්පත් පතිරණ විසින් ලබාගන්නා ලදි.

තරඟය නිමා වූයේ ගෝල 3-1 ක් ලෙස නිව් යංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.

ThePapare.com තරගයේ වීරයා – හසිත ප්‍රියන්කර (නිව් යංග්ස්)

ගෝල ලබාගැනීම්
නිව් යංග්ස් කණ්ඩායම – හසිත ප්රියන්කර 8’, අන්කමා ජෝජ් 32’, හසිත ප්රියන්කර 68’
පොලිස් කණ්ඩායම – සම්පත් පතිරණ 93’
අනතුරු ඇගවීම්
කහ කාඩ්පත් – අඩ්ජෙයි රිචර්ඩ් (නිව් යංග්ස් ), ජේම්ස් සෝගා (නිව් යංග්ස් ), නුවන්ත චාරක ( පොලිස් ), තුෂාර සම්පත් ( පොලිස් ), සමීර ජයසිංහ ( පොලිස් )

අද (26) පැවැත්වෙන තරඟ

බ්ලුස්ටාර් ක්‍රීඩා සමාජය හා කොළඹ පාපන්දු සමාජයවර්නෑන් ප්‍රනාන්දු පිටියේදී, සවස 3.30 (මෙම තරඟය ThePapare.com හි සජීවිව විකාශනය වේ)

ක්‍රිස්ටල්පැලස් ක්‍රීඩා සමාජය හා මාතර පාපන්දු සමාජයජයතිලක ක්‍රීඩා පිටියේදී, සවස 3.30

මීගමුව යූත් ක්‍රීඩා සමාජය හා සොලිඩ් ක්‍රීඩා සමාජය – කැළණිය පාපන්දු සංකීර්ණ පිටියේදී, සවස  3.30

නන්දිමිත්‍රක්‍රීඩා සමාජය (සිවිල් ලේකම් ක්‍රීඩා සමාජය) හා අප්කන්ට්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයනගර පාපන්දු සංකීර්ණ පිටියේදී, සවස 3.30

මෙම තරඟ සියල්ලම A කාණ්ඩයේ තරඟ වේ.

තවත් තොරතුරු දැනගන්නට DCL Hub වෙත පිවිසෙන්න